සරසවි භූමියේ නවකවධයට තිත තියනවා ද ?

සරසවි භූමියේ නවකවධයට තිත තියනවා ද ?

July 13, 2025   08:00 pm

දීර්ඝ කාලයක් තිස්සේ මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මක නවකවධය ඉදිරියේ විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය සහ පරිපාලනය නිහඬ පිළිවෙතක් අනුගමනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා සඳහන් කළේය. 

නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ද පෙන්වා දෙන්නේ නවකවධය වැළැක්වීමට ප්‍රමාණවත් නීති රට තුළ ස්ථාපිතව තිබුණ ද විශ්වවිද්‍යාල බලධාරීන්ගේ මන්දගාමී ක්‍රියාපිළිවෙත් නිසා නවකවධය තුරන් කිරීමට නොහැකිව ඇති බවය.

RAG...නොඑසේ නම් නවකවධය ලොවට අලුත් දෙයක් නොවේ.

ඉතිහාසයේ සඳහන් පරිදි RAG යන වචනය බිඳී එන්නේ ROYAL ADMISSION GAME යන වදනින්ය.

RAG යනු බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් වැනි විශ්වවිද්‍යාලවලට රාජකීය පවුල්වල දරුවන් ඇතුළත් වීමේදී ඔවුන් වෙනුවෙන් පවත්වන ක්‍රීඩාවකි.

රාජකීය පවුල්වල දරුවන්ට සමානාත්මතාවය, එකමුතුබව කියාදීම එහි අරමුණ බව සඳහන් වේ.

සමානාත්මතාවය පෙරදැරි කරගනිමින් ආරම්භ වූ නවකවධය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුළත් උපසංස්කෘතියක් බවට පත්වන්නේ 40 දශකයේදීය.

නමුත් මේ වන විට එය සමාජ ඛේදවාචකයක් වී අවසන්ය.

ඒ මෙම උපසංස්කෘතියට දේශපාලනය, ලිංගික ඊර්ෂ්‍යාව, සමාජ පන්ති භේදය මත කුහකත්වය වැනි මනෝභාවයන් රිංගා ගැනීම හේතුවෙනි.

එලෙස පරිවර්තනය වූ නවකවධය තවකෙකුගේ ජීවිතය නැතිකරන්නට තරම් සාහසික වී තිබේ.

සරසවි සිහිනය දකින්නට ආ සිසුන් නවකවධයට ගොදුර කර ඔවුන්ගේ හීන ඇස් පනාපිටම විනාශ කළ සිදුවීම් මෙරට තුළ ඕනෑ තරම්ය.

1977දී පේරාදෙණිය සරසවියේ ඉගෙනුම ලැබූ රූපා රත්නසීලී රාමනාදන් නේවාසිකාගාරයේ දෙවන මහලින් බිමට පැන ආබාධිත තත්ත්වයට පත්ව පසුව දිවි නසා ගන්නේ ජ්‍යේෂ්ඨයන්ගෙන් ලද කුරිරු නවකවධයේ කම්පනයෙනි.

1997දී පේරාදේණිය සරසවියේ ඉගෙනුම ලැබූ එස්. වරප්‍රකාෂ්ගේ වකුගඩු අක්‍රීය වන්නේද නවකවධයට ලක්වීම හේතුවෙනි.

එම වසරේදීම අම්පාර හාඩි තාක්ෂණික ආයතනයේ කැලුම් තුෂාර සිසුවා මියයන්නේ ද නවකවධය හේතුවෙන්මය.

ඒ අතිශය වෙහෙසකර ව්‍යායාම කිරීමට සිදුවීම සහ අධිමාත්‍ර මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ලබා ගැනීමට සිදුවීමෙන් වකුගඩු අක්‍රීය වීම නිසා බව හෙළිවී ඇත. 

නවකවධය හා බැඳුණු අතිශය කුරිරුතම සිදුවීම මෙරටින් වාර්තාවන්නේ 2002 වසරේදීය.

ඒ නවකවධයට විරුද්ධ වීම නිසා ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ඕ.වී.සමන්ත ඝාතනය කිරීමය.

වසර 23ක් ගතව ඇතත් සමන්තගේ මවට තවමත් ඒ සිදුවීම දරාගත නොහැකි කම්පනයකි.

ඇය ඒ අමිහිරි අත්දැකීම කෘතියකින් ද පවසා තිබේ.

සමන්තගේ අවසන් කටයුතු සිදුකළ දින එවක පාලකයන් ලබාදුන් පොරොන්දුවක් නම් නවකවධයේ කෘෘරත්වය විශ්වවිද්‍යාලවලින් තුරන් කරන බවටය.

නමුත් එය ඉටුවූවා නම් සබරගමුව සරසවියේ චරිත් දිල්ෂාන් ගැන අපට කතාකරන්නට සිදුවන්නේ නැත. 

තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ සිටි චරිත් දිවි නසාගන්නේ නවකවධ හිංසනය මත වූ කම්පනය නිසා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලික විමර්ශනවලින් හෙළිවී ඇත.

චරිත්ගේ කතාවේ උණුසුම මැකෙන්නට පෙර සමාජ මාධ්‍ය යළි කඩිගුලක් ලෙස ඇවිස්සී ගියේ අග්නිදිග සරසවියේ නවකවධ සිදුවීම සමගිනි.

රූපා රත්නසීලිගෙන් සරසවි බලධාරීන් පාඩමක් ඉගෙනගත්තා නම් වරප්‍රකාෂ් මියයන්නේ නැත.

ඔහුගෙන් පාඩමක් ඉගෙනගත්තා නම් කැලුම් තුෂාර මියයන්නේ ද නැත.

එතැනින් පසු සමන්තලා, චරිත්ලා මියයන්නේ ද නැත.

සිව්දිගින් සරසවියට එන සිසුන් අතරේ සමානාත්මතාවය හා එකමුතුකම ඇතිකරන්නට බිහිවූ නවකවධය නම් උපසංස්කෘතිය ඒ කාර්යය කරනවා වෙනුවට තවකෙකුගේ අධ්‍යාපන අයිතිය ද උදුරා ජීවිතත් බිලිගන්නා තැනට පත්ව ඇත්නම් තවත් සමන්තලා චරිත්ලා ගැන අනාගතයේත් අසන්නට සිදුවනු ඇත.

එය එසේ නොවන්නට වගබලා ගැනීම ජාතික වගකීමක් බව අමුතුවෙන් කිවයුතු ද නැත.