තවදුරටත් සහනයක් ලබාගැනීමට ඉදිරියේ දී නියෝජිතයින් පිරිසක් අමෙරිකාවට

තවදුරටත් සහනයක් ලබාගැනීමට ඉදිරියේ දී නියෝජිතයින් පිරිසක් අමෙරිකාවට

July 13, 2025   06:57 pm

අමෙරිකාව මෙරටට පැනවූ 30% අන්‍යෝන්‍ය තීරුබදුවලට අදාළව තවදුරටත් සහනයක් ලබාගැනීමට එළඹෙන අගෝස්තු පළමුවනදාට පෙර අමෙරිකාව සමග සාකච්ඡා සිදුකරන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ ඒ වෙනුවෙන් සහභාගී වන මෙරට නියෝජිත කණ්ඩායම ඉදිරියේදී දැනුම්දෙනු ඇති බවය.

රටවල් 100කට ආසන්න සංඛ්‍යාවක් ඉලක්ක කරමින් නව අන්‍යෝන්‍ය තීරුබදු හඳුන්වාදීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය අප්‍රේල්
මාසයේදී කටයුතු කළ අතර එහිදී ශ්‍රී ලංකාවට 44%ක තීරුබදු පැනවීය.

අනතුරුව එය ක්‍රියාත්මක කිරීම දින 90ක කාලයකට අත්හිටුවීමට ට්‍රම්ප් පියවර ගත්තේ රටවල් රැසකින් ඉදිරිපත් වූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමිනි.

අමෙරිකාව නව තීරුබදු පිළිබඳ පසුගිය 09 වනදා මෙරටට නිල වශයෙන් දැනුම්දී තිබු අතර ඒ අනුව පනවා තිබූ නව තීරු බද්ද 30%කි.

එම තීරණය එළැඹෙන අගෝස්තු පළමුවනදා සිට බලාත්මක වීමට නියමිතව ඇත.

අමෙරිකාවෙන් බදු සහන ලබාගැනීම වෙනුවෙන් අගෝස්තු පළමුවනදාට පෙර තවදුරටත් සාකච්ඡා සිදුකිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පැවසුවේ මෙරට නියෝජිත පිරිස ඉදිරියේදී අදාළ සාකච්ඡාවට සහභාගි වීම සඳහා අමෙරිකාවට පිටත්ව යාමට නියමිත අතර ඊයේ (12) ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී ඒ සම්බන්ධයෙන් අවධානය යොමු වූ බවය.

අදාළ සාකච්ඡාවල දී අමෙරිකානු භාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් ද අවධානය ද යොමුවනු ඇති බව මංගල විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.