ජාත්‍යන්තර මට්ටමේ ටෙනිස් ශූරිය රාධිකාගේ ඝාතනයට හේතුව

ජාත්‍යන්තර මට්ටමේ ටෙනිස් ශූරිය රාධිකාගේ ඝාතනයට හේතුව

July 13, 2025   05:28 pm

ඉන්දීය ටෙනිස් ක්‍රීඩිකා රාධිකා යාදව්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය තවත් කරුණු කිහිපයක් හෙළි කර තිබේ.

 පසුගිය බ්‍රහස්පතින්දා (10) රාධිකාගේ පියා විසින් ඇයට වෙඩි තබා ඝාතනය කර තිබුණි.

පියා විසින් සිය දියණියව ඝතනය කිරීමට හේතුව තවමත් නිශ්චිතව තහවුරු කිරීමක් සිදුකර නොමැති වුවත් ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත්තේ, තමන්ට වඩා දියණිය විසින් මුදල් ඉපයීම සහ ඇයගේ දියුණුව සම්බන්ධයෙන් ඇති වූ කනස්සල්ල මත සැකකරු විසින් සිය දියණියව මෙලෙස ඝාතනය කර ඇති බවය.

රාධිකා පෞද්ගලික ටෙනිස් ඇකඩමියක පුහුණුකාරිනියක් වූ අතර ඉහළ පෙළේ සේවාදායකයින්ට තනි තනිව ද පුහුණු කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව චූදිත දීපක් යාදව්ට ගම්මුන් සහ ඇතැම් පිරිස්, සිය දියණිය උපයන මුදල් වලින් යැපෙන බවටත් ඇය තමුන්ට වඩා මුදල් උපයන බවටත් පවසමින් නිරන්තරයෙන් නින්දා අපහාර කර ඇති බව සඳහන් වේ.

එම අවස්ථාවන්හී සිය දියණිය වන රාධිකාට ටෙනිස් ඇකඩමියට නොයන ලෙසට කිහිප වතාවක්ම පවසා ඇති නමුත් ඇය එය ප්‍රතික්ෂේප කර තිබේ.

එමෙන්ම ඉන්දීය පොලීසිය පවසන පරිදි සිය දියණිය ඝාතනය කිරීමට ඇයගේ ඉන්ස්ටග්‍රෑම් රීල් එකක් සහ සංගීත වීඩියෝවක් ද හේතු වී ඇති බවට වාර්තා වේ.

2000 මාර්තු 23 වන දින උපත ලැබූ රාධිකා, විවිධ ජාතික හා ජාත්‍යන්තර තරඟාවලි සඳහා තරඟ කර ඇති අතර, ඉන්දීය ටෙනිස් සංගමයේ (AITA) වාර්තාවලට අනුව වයස අවුරුදු 18 න් පහළ බාලිකා ඉසව්වෙන් 75 වන ස්ථානය, කාන්තා යුගළ ඉසව්වෙන් 53 වන ස්ථානය සහ කාන්තා කේවල ඉසව්වෙන් 35 වන ස්ථානය ලබා ගෙන ඇත.

ඇය ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනයේ (ITF) පරිපථයේ ක්‍රියාකාරී වූ අතර, එහිදී ඇය 113 වන ස්ථානයේ සිට තිබේ.

මෙම ඝාතනය සිදු වී ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරු .10.30 ට පමණි.

එම අවස්ථාවේ රාධිකා සිය නිවසේ උයමින් සිටි ඇති අතර එහිදී රාධිකාගේ පියාවන 54 හැවිරිදි දීපක් යාදව් විසින් සිය බලපත්‍රලාභී පිස්තෝලය ගෙන රාධිකාගේ ඉණට වෙඩි තබා ඇති බව සඳහන් වේ.

රාධිකාගේ මරණ පරීක්ෂණය අනුව ඇයගේ ශරීරයට වෙඩි උණ්ඩ හතරක් වැදී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

චූදිත දීපක් යාදව්ව අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත් රාධිකාගේ ඥාතීන් පවසා ඇත්තේ සිය දියණියව ඝාතනය කළ වරදට දීපක් යාදව්ව එල්ලා මැරීමට නියම කළ යුතු බවත් ඔහුට දැඩි දඬුවම් ලබා දිය යුතු බවත්ය.