ගුරු විදුහල්පති ස්ථාන මාරු තුලනය කිරීම් කඩිනම් කරන්නැයි අගමැතිනියගෙන් උපදෙස්
July 12, 2025 10:08 pm
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ඇය පැවසුවේ මේ සම්බන්ධව පළාත් සහ මධ්‍යම රජය නිසි පරිදි සම්බන්ධිකරණය පවත්වා ගත යුතු බවය.
2026 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පළාත්, කලාප හා කොට්ඨාස මට්ටමින් අධ්‍යාපන හා පරිපාලන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් ආරම්භ කළ දැනුවත් කිරීමේ සාකච්ඡා මාලාවේ පළමු වැඩසටහන අමතමින් අද (12) උතුරුමැද පළාත් සභාවේ දී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් සිදුකරන විෂය මාලා සංශෝධනය, ඇගයීම් සහ තක්සේරුකරණ ක්‍රියාවලිය, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ගුරු විදුහල්පති සහ අධ්‍යාපන පරිපාලන පුරප්පාඩු අවම කිරීම, පලාත් සභා සහ මධ්‍යම රජය අතර නිසි සම්බන්ධිකරණය සිදු කිරීම, පළාත් සභා මට්ටමින් පවතින ගැටලු අවබෝධ කරගනිමින් ඊට කඩිනම් විසදුම් ලබා දීම පිලිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
"පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි කියලා අපි සියලු දෙනාම පිලිගන්නවා, ඒ වෙනුවෙන් මේ ප්‍රතිසංස්කරණය සිදුකළ යුතුයි. විශේෂයෙන් දැනට ඉන්න ගුරුවරුන් පුහුණු කරන්න අවශ්‍යයි, යටිතල පහසුකම් සංවර්ධනය කරන්න අවශ්‍යයි, පරිපාලන ව්‍යුහය ශක්තිමත් කරන්න අවශ්‍යයි, ඩිජිටල්කරණය සිදු කිරීමත් අවශ්‍ය වෙනවා.
ප්‍රධානම කාරණය මේ ප්‍රතිසංස්කරණය දිහා තනි තනිව බලන්න එපා, සමස්ථ ක්‍රියාවලියේ ම, පද්ධතියේම ප්‍රතිසංස්කරණයක් මේ සිදු කරන්නේ. මේ රට හැමදාම දියුණු වෙමින් තියන රටක් කියලා විතරක් මදි, ඒ ක්‍රමය වෙනස් කරන්න ඕන. ඒක කරන්න වෙන්නේ අපිටම තමයි. මොකක් හෝ හේතුවකට මේ තත්වය වෙනස් කරන්න අපිට සිද්ධවෙලා තිබෙනවා. ඒ වෙනුවෙන් ගුරුවරුන් විතරක් නෙමෙයි පරිපාලන ක්ෂේත්‍රය, දෙමාපියන් ඇතුළු සියලු දෙනා මැදිහත් වෙන්න අවශ්‍යයි. මේ ප්‍රතිසංස්කරණය ගැන නිවැරදිව දැනුවත් වෙන්න අවශ්‍යයි.
දරුවන් පාසලෙන් එළියට එනවිට විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන හෝ වෘත්තීය අධ්‍යාපනය තුළින් ඉදිරියට යන්න මාර්ගයක් නිර්මාණය කිරීමයි මේ සිදු කරන්නේ. රට ඉදිරියට ගන්න නම් අධ්‍යාපන පරිවර්තනය අනිවාර්යයෙන් සිදු කරන්න අවශ්‍යයි. ඒ වගේම මේ ක්‍රියාවලියේදී රාජ්‍ය සේවයට අදාල ස්ථාන මාරු නිසි පරිදි සිදු කරන්න වෙනවා. ගුරු විදුහල්පතිවරුන් ස්ථාන මරු කිරීම් නිසි පරිදි තුලනය කරන්න වෙනවා.
පළාත් වශයෙන් ගුරු විදුහල්පති ගැටලු විසදන්න අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග පළාත් සභාව හරහා සිදු කරන්න. ඒ වෙනුවෙන් අමාත්‍යංශය හරහා සිදුවිය යුතු චක්‍රලේඛ හා නීතිමය සංශෝධන සිදු කරන්න අපි සූදානම්. ජාතික පාසල්, පළාත් පාසල් කියලා බෙදන්න යන්න එපා. සියලු පාසල් අපේ, අපේ දරුවන් ඉන්නේ.
දැනට පාසල් තුළ සිටින දරුවන්ට අපි වග කියන්න ඕනේ, ඒ වෙනුවෙන් පාසල් වල තත්වය නිවැරදි කරගන්නයි අපිට අවශ්‍යය. ගැටලු විසඳන්න අපි එකඟතාවකට ඇවිල්ලා වැඩ කරමු.
ආණ්ඩුවක් ලෙස අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අපි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා සඳහන් කළා අධ්‍යාපනය වෙනුවෙන් මානව සම්පත දියුණු කරන්න, යටිතල පහසුකම් සංවර්ධනය කරන්න අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දෙන්නම් කියලා.
අපිට තියෙන්නේ මේ ගැටලු ටික විසඳගෙන නව අධ්‍යාපන පරිවර්තනය සිදු කිරීමයි. පළමු වසර අපිට දුෂ්කර වෙයි නමුත් වසර තුන හතරක් යන විට පහසුවෙන් සිදු කරන්න පුලුවන් වෙයි.
අපිට මේ සාකච්ඡා වැදගත් වෙන්නේ පළාත් මට්ටමෙන් මේ ක්‍රියාවලිය සිදු කිරීමේදී පවතින ගැටලු නිරාකරණය කරගන්නයි. අපේ දරුවන් වෙනුවෙන් මේ පරිවර්තනයට ඔබේ සහය ලබා දෙන්න."
විශේෂයෙන් උතුරු මැද පලාතේ තියන ගුරු විදුහල්පති ගැටලුව ඉදිරි මාස තුන තුළ විසඳන්න කටයුතු කරන ලෙසද අග්‍රාමාත්‍යතුමිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.