උකුසු ඇසට හසුවූ පතුරුගල් ජාවාරම

උකුසු ඇසට හසුවූ පතුරුගල් ජාවාරම

July 12, 2025   08:01 pm

මෙරට දුර්ලභ පාෂාණ විශේෂයක් වන ''පතුරු ගල්'' බලපත්‍රයක් රහිතව නීතිවිරෝධි අයුරින් කැණීම් සිදුකරන ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සාට තොරතුරු ලැබුණි.

''පතුරු ගල්'' මෙරට ප්‍රදේශ කිහිපයකින් පමණක් හමුවන දුර්ලභ පාෂාණ විශේෂයකි.

පිඟන් ගඩොල් සෑදීම ආදී කාර්යයන් සඳහා යොදාගන්නා මෙම පතුරු ගල් කැණීම් සිදුකිරීම සඳහා විශේෂ බලපත්‍රයක් අවශ්‍ය වෙයි.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් ලද එවැනි බලපත්‍රයක් රහිතව නීතිවිරෝධි අයුරින් සිදුකරන පතුරු ගල් කැණීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සාට තොරතුරක් ලැබුණි.

ඒ අනුව අද දෙරණ උකුස්සා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ නිලධාරින්, නාවලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරින් ද සමඟ නාවලපිටිය ප්‍රදේශයට ගියේ මෙම ජාවාරම සම්බන්ධයෙන් සැකහැර දැනගැනීම සඳහායි.

ඒ අනුව අප එම ස්ථානයට ළඟාවන විටත් ජාවාරම්කරුවන් ජයටම ''පතුරු ගල්'' කැණීමේ නිරතව සිටියේ අපට ලද තොරතුර මනාව සනාථ කරමින්ය.

එම ස්ථානය නිරීක්ෂණයේදී මේ ආකාරයෙන් පතුරු ගල් ආකාර 20කටත් අධික ප්‍රමාණයක් අපට දැකගත හැකිවුණි.

මෙම ජාවාරම්කරුවන්ගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් ප්‍රකාශ කළේ කැණීම් සඳහා යොදාගන්නා මෙම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් බවය.

එසේම මෙම පතුරු ගල් මෙම ස්ථානයෙන්ම මිලට ගැනීමට ලොරි රථවලින් වෙළෙඳුන් ද පැමිණෙන බව ජාවාරම්කරුවන් අපට අනාවරණ කළේය.

ඒ අනුව ක්‍රියාත්මක වුණ නිලධාරින් මෙම ජාවාරම්කරුවන් පිරිස අත්අඩංගුවට ගත් අතර මෙම පතල් වසා දැමීමට ද නියෝග කළේය.

රජයට අයත් ඉඩම්වල සිදුකර මෙම නීති විරෝධි කැණීම් හේතුවෙන් සිදුවන පරිසර විනාශය අමුතුවෙන් විස්තර කළ යුතු නැත.

එසේම ඉතා වටිනා ස්වභාවික පාෂාණ අවිධිමත් අයුරින් කැණීම හේතුවෙන් ස්වභාවික සම්පත් වලට සිදුවන හානියත් සුළුපටු නැත.

රටේ ස්වභාවික සම්පත් විනාශ කරන මෙවන් ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා අද දෙරණ උකුස්සා සීරුවෙනි.