අමෙරිකාවේ තීරුබදු සම්බන්ධයෙන් බ්‍රසීලයෙන් ට්‍රම්ප්ට තර්ජනයක්
July 11, 2025 06:06 pm
සිය රටට එරෙහිව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 50%ක තීරු බදු වැඩි කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධව බ්‍රසීල ජනාධිපතිවරයා අමෙරිකාවට අනතුරු ඇඟවීමක් කර තිබේ.
බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා පවසා ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයා පළි ගැනීමක් ලෙස සිය රටට එරෙහිව 50%ක තීරු බදු ඉහළ දැමීමක් සිදුකළ හොත් අමෙරිකාවටද පළි ගැනීමේ තිරු බදු ප්‍රකාශයට පත් කිරීමට තමන් තීරණය කරන බවය.
බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට එරෙහි බ්‍රසීලයේ අපරාධ නඩු විභාගය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ විවේචනයට ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගෙන ඇත.
මේ අතර සිය X ගිණුමේ සටහනක් තබමින් බ්‍රසීල ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ බ්‍රසීලය ස්වාධීන ආයතන සහිත ස්වෛරී ජාතියක් වන බවත් කිසිදු ආකාරයක රැකවරණයක් පිළි නොගන්නා බවය.
එමෙන්ම ඒක පාර්ශ්විකව තීරු බදු වැඩි කිරීමේ ඕනෑම පියවරකට බ්‍රසීලයේ ආර්ථික අන්‍යෝන්‍ය නීතියට අනුව ප්‍රතිචාර දක්වනු ඇති බවත් ඔහු සටහන මගින් සඳහන් කර තිබුණි.
මේ අතර එරට ඊයේ (10) පැවැති රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකදීද බ්‍රසීල ජනාධිපතිවරයා ට්‍රම්ප්ට තර්ජනය කර තිබුණි.
ඉන් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ සාකච්ඡාවක් නොමැති නම් අන්‍යෝන්‍ය ගිවිසුම් නීතිය ක්‍රියාත්මක කරනු ලබන බවත් අමෙරිකානු ජනාධිපතිවරයා බ්‍රසීලයෙන් අමෙරිකානු ඩොලර් 50ක් අය කරන්නේ නම් බ්‍රසීලයද අමෙරිකාවෙන් අමෙරිකානු ඩොලර් 50ක් යන කරන බවය.
මෙම වසර මුලදී බ්‍රසීලය තීරුබදු පළි ගැනීමට ඉඩ සලසන අන්‍යෝන්‍ය නීතියක් සම්මත කළ අතර රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් අසාර්ථක වුවහොත් එය සක්‍රීය කළ හැකි බවටද බ්‍රසීල ජනාධිපතිවරයා පවසා තිබුණි.
මේ අතර බ්‍රසීල ජනාධිපතිවරයාගේ මෙම තර්ජනය විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මාස කිහිපයකට පසු තවත් රටක් ට්‍රම්ප්ගේ තීරුබදු තර්ජනයට සමාන තර්ජනයක් ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙය වන බවය.
මින් පෙර චීනයද අමෙරිකාවට මෙම තීරුබදු සම්බන්ධව තර්ජනය කර තිබුණි.