අමෙරිකාවෙන් අත්‍යවශ්‍ය ඖෂධ ලබා දෙන්න එකඟතාවක්

අමෙරිකාවෙන් අත්‍යවශ්‍ය ඖෂධ ලබා දෙන්න එකඟතාවක්

July 10, 2025   06:07 pm

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් මහත්මිය අතර හමුවක් අද (10) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

මෙම හමුවේදී මෙරට ඖෂධ සැපයුම සහ සෞඛ්‍ය සේවාවන් පිළිබඳව පුළුල් සාකච්ඡාවක් සිදුව තිබේ.

එහිදී අත්‍යවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ යම් ප්‍රමාණයක් ඇමරිකාවේ පරිත්‍යාගශීලීන් වෙතින් මෙරටට සපයා දීමට ඇමරිකානු තානාපතිනිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට එකගතාවය පළකර ඇත.

එමෙන්ම මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය මෙන් ම එහි අනාගත අභිවෘද්ධිය පිළිබඳව ද මෙම හමුවේ දී  දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග පාලනය සහ මර්දනය සදහා අවශ්‍ය කෙටි කාලීන සහ දිගු කාලීන සැලසුම් සකස් කිරීම පිළිබඳවත් එම කටයුතු දියත් කරන ආකාරය පිළිබඳවත් එමෙන් ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් ද ක්‍රියාත්මක කරමින් එම රෝග තත්ත්වයන් පාලනය කිරීමට කටයුතු කරන ආකාරය පිළිබඳව මෙහි දී ඇමරිකානු තානාපතිනිය දැනුවත් කර ඇත.

මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ යම් යම් අවස්ථාවන්හි දී ඇතිවන ඖෂධ හිඟය මඟහැරවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව මෙහි දී පැවසූ අමාත්‍යවරයා රජයන්, රජයන් අතර සාකච්ජා කොට මෙරටට අත්‍යවශය ඖෂධ ලබා ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර ඇති බව ද පැවසුවේය.

මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන් සියලු දෙනාගේ ම අදහස් යෝජනා ලබා ගෙන නව මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම මාධ්‍යවේදීන් සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියුතුවූවන් වෙනුවෙන් වරලත් මාධ්‍ය ආයතනයක් නුදුරේම ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, මේ වන විට ඊට අදාළ කටයුතු සිදුවෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මෙහි දී ඇමරිකානු තානාපතිවරිය මෙරට මාධ්‍යවේදීන් වෙනුවෙන් පුහුණු වැඩසටහනක් සකස්කිරීමේ සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳව අමාත්‍යවරයා සමග අදහස් හුවමාරු කර ගෙන තිබේ.

මින් පෙර අවස්ථාවන්වලදී මෙරට සෞඛ්‍ය සේවාවේ අභිවෘද්ධිය සඳහා ඇමරිකානු රජය ලබා දුන් සහාය සිහිපත් කළ අමාත්‍යවරයා ඇමරිකාවේ පරිත්‍යාගයක් ලෙස 1973 වසරේ දී මෙරට ස්ථාපිත ත්‍රීපෝෂ ආයතනයේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ දියුණුව පිළිබඳව ද ඇමරිකානු තානාපතිනියට විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය.

සාකච්ඡාවට එක්වූ ඇමරිකානු තානාපතිනිය පැවසුවේ මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි අනාගත වර්ධනයන් ඇති කිරීමට ඇමරිකානු රජයේ මුල්‍ය, තාක්ෂණික, දැනුම සහ භෞතික වශයෙන් ද ලබාදිය හැකි සියලු සහයෝගයන් මෙන් ම උපකාරයන් අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බවය.

මෙම අවස්ථාවට ඇමරිකානු තානාපති කාර්යාල නියෝජනය කරමින් සහ සෞඛ්‍ය අමාත්‍යංශය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.