විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ  පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවක්

July 10, 2025   04:52 pm

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත් කෙටුම්පත හා වැඩපිළිවෙල සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්විණි.

මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය වැඩපිළිවෙළ තුළ සේවකයින්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද සුරැකීම ඇතුළු වෘත්තීය සමිතිවල අවධානයට යොමු වුන කරුණු රැසක් සාකච්ඡාවට ලක් කර තිබේ.

විදුලිබල ක්ෂේත්‍රය රජයේ හිමිකාරීත්වය යටතේ තබාගැනීම රජයේ ප්‍රතිපත්තිය බවත් මෙම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ හරහා කිසිසේත් සේවක අයිතිවාසිකම් අඩුකිරීමට හෝ කප්පාදු කිරීමට කටයුතු නොකරන බවත් එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට එක්වූ වෘත්තිය සමිති නියෝජිතයන් අදහස් දක්වමින් පැවසුවේ අමාත්‍යවරයා සමග සෘජුව සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම පිළිබදව ස්තූතිවන්ත වන බවය.

විදුලිබල ක්ෂේත්‍රය රජයේ හිමිකාරීත්වය යටතේ තබාගන්නා මේ ප්‍රතිපත්තිය ඉහළින් අගය කරන බවත් එහිදී ඔවුහු පැවසූහ. 

එමෙන්ම සේවක අයිතීන් හා වරප්‍රසාද සුරැකීම කෙරෙහි රජයත් අමාත්‍යවරයා දක්වන සැළකිල්ල ඉහළින් අගය කරන බවත් විදුලිබල ක්ෂෙත්‍රයේ දියුණුවට දියහැකි උපරිම දායකත්වය ලබාදීමට වෘත්තීය සමිති ව්‍යාපාරයේ සහයෝගය ලබාදෙන බවද ඔවුන් ප්‍රකාශ කළේය.

විදුලිබල මණ්ඩලය හා ආශ්‍රිත වෘත්තීය සමිති 42ක නියෝජිතයන් මේ හමුව සදහා ආරාධනා කර තිබුණි.