අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම

අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම

July 10, 2025   03:04 pm

බංග්ලාදේශයට එරෙහිව අද (10) පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේ දී දසුන් ශානක අංක 6 ස්ථානයේ ක්‍රීඩාකරවීමට බලාපොරොත්තු වනබව නායක චරිත් අසලංක පැවසීය.

කෙසේ නමුත් ඔහු ක්‍රීඩාකරන ස්ථානය වෙනස්විය හැකි බවද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම් ගැන ඊයේ (9) පැවති මාධ්‍ය සාකච්ඡාවේදි චරිත් මේ බව සඳහන් කළේය.

"දසුන් ක්‍රීඩාකරන ස්ථානය වෙනස්වීමට ඉඩ තිබෙනවා. එයාට ඇතිවෙන්න ඕවර්ස් තියලා ක්‍රීඩාකරවන්න බලාපොරොත්තු වෙනවා. පවර්හිටර් කෙනෙක් ගත්තොත් එයා තමයි අංක එකේ පවර් හිටර්" යනුවෙන්ද චරිත් පැවසීය.

කලකට පසු ශ්‍රී ලංකා සංචිතයේ ඉඩක් වෙන්කරගත් චාමික කරුණාරන්නට කණ්ඩායමේ ස්ථානය ලැබුණහොත් ඔහු අංක 7 ස්ථානයේ ක්‍රීඩාකරන බවද චරිත් පෙන්වා දුන්නේය.

දසුන් අවසන්වරට විස්සයි20 තරගයක් ක්‍රීඩාකර ඇත්තේ 2024 ජුලි මාසයේ දී ඉන්දියාවට එරෙහිවය.

චාමික ද 2023 අප්‍රෙල් මාසයේ නවසීලන්තයට එරෙහිව ක්‍රීඩාකිරීමෙන් පසු මේ දක්වා විස්සයි20 තරගාවලියක් ක්‍රීඩාකර නොමැත.

මේ අතර ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩාකරන අවිශ්ක ප්‍රනාන්දු සංචිතයට කැඳවුයේ අංක 4 ස්ථානයේ ක්‍රීඩාකරවීමට බවද චරිත් සඳහන් කළේය.

"අවිශ්කගේ භූමිකාව දැන් වෙනස්. එයා ඉස්සර එක්දින තරගවල ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කළාට, විස්සයි20 තරගවල අංක 4 පිතිකරුවෙකු ලෙස යොදාගන්න බලන්නේ" යැයි පැවසීය.

දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයත් සමග වසරක සිට ක්‍රීඩාකරන බවත්, ඔහුව ආරම්ක පිතිකරුවෙක් ලෙස හෝ අංක 3 ස්ථානයට ආදේශකයක් ලෙස යොදාගැනීමේ සූදානමින් සංචිතයේ සිටින බවද නායක චරිත් සඳහන් කළේය.

"ආරම්භක පිතිකරුවන් දෙන්නා හරි අංක 3 පිතිකරු හරි වුණොත් තමයි අපි චන්දි අයියව යොදාගන්න බලන්නේ. අංක 4 ස්ථානයේ අවිශ්ක හරි කමිඳු හරි ක්‍රීඩා කරන්නේ" යනුවෙන්ද චරිත් පැවසීය.

තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතය.

දෙරට අතර ටෙස්ට් තරගාවලිය සහ එක්දින තරගාවලිය ජයගෙන ජයග්‍රාහී මානසිකත්වයකින් සිටින ශ්‍රී ලංකාව, විස්සයි20 තරග බිමේදී ද බංග්ලාදේශයට එරෙහිව ඉහළ දක්ෂතා දක්වා තිබේ.

බංග්ලාදේශය සමග විස්සයි20 තරගාවලි 5ක් ක්‍රීඩාකර ඇති ශ්‍රී ලංකාව, ඉන් තරගාවලි 4කම ජය තහවුරුකරගෙන ඇත. එක් තරගාවලියක් පමණක් ජයපරාජයෙන් තොරව අවසන් වී තිබේ.