මළසිරුරක් හෝමාගම විකල්ප මාර්ගයෙන් හමුවෙයි
July 10, 2025 09:42 am
වෙනත් ස්ථානයකදී ඝාතනය කර ගෙනවිත් දමා ඇති බවට සැක කළහැකි පිරිමි මළසිරුරක් හෝමාගම විකල්ප මාර්ගයේ තිබී හමුව තිබේ.
පොලීසිය පැවසුවේ අද (10) උදෑසන මෙම මළ සිරුර හමු වූ බවය.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් පමණ වන පුද්ගලයෙකු බව වාර්තා වේ.
පොලීසිය පැවසුවේ, ඔහුගේ හිසට ආයුධයකින් පහරක් එල්ල කර ඇති බවට සැක කළහැකි ආකාරයේ තුවාලයක් දකින්නට ලැබෙන අතර ගෙල ඉදිමි ඇති තත්ත්වයක් දකින්නට ලැබෙන බවත් එමෙන්ම ගෙල ආසන්නේ ලේ පැල්ලමක් ද දක්නට ඇති බවත්ය.
මෙතෙක් විවෘත කර නොමැති අදාළ විකල්ප මාර්ගය රාත්‍රී කාලයේදී දැඩි අඳුරු සහගත බවක් පවතින බව වාර්තා වේ.
පොලීසිය සැකපල කරන්නේ මෙම තරුණයාව වෙනත් ස්ථානයකදී ඝාතනය කර ඔහුගේ සිරුර රථයකින් රැගෙන විත් මෙම ස්ථානයට දමා යන්නට ඇති බවටය.
නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් මූලික පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර හෝමාගම මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.