අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ගැන ජනපතිගේ මතය

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ගැන ජනපතිගේ මතය

July 8, 2025   04:26 pm

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නම් සමස්ත අධ්‍යාපන පද්ධතියේ පහසුකම් වැඩිදියුණු කරන අතරම, ආයතනික පද්ධතියද ශක්තිමත් කළයුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේ ප්‍රකාශ කළේ, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රමුඛ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (08) පැවැති සාකච්ඡාවේදීය.

මෙහිදී, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් ජනාධිපතිවරයාව දැනුවත් කළ බව ජනාධිපත මාධ්‍ය අංශය පවසයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයනය කර, අවශ්‍යතා මත ප්‍රතිපාදන සැපයීමට රජය සූදානම් බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නම් සමස්ත පද්ධතියම පූර්ණ වෙනසකට ලක් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දී තිබේ.

එහිදී, භෞතික සම්පත් සහ යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම මානව සම්පත් සංවර්ධනය කෙරෙහිද ඉහළ අවධානයක් යොමු විය යුතු බව ජනපතිවරයා විසින් අවධාරණය කරනු ලැබීය.

ඒ සඳහා පූර්ණ අධ්‍යයනයකින් අනතුරුව, සැලසුම් සහ අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කරන ලෙසත්, ඉදිරි අයවැය මඟින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර දීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.  

එසේම, මෙම ක්‍රියාවලියේදී ගුරුවරුන් සහ අධ්‍යාපන පීඨ සිසුන් පිළිබඳව ද අවධානය යොමු කිරීමටත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය සඳහා සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර, අදහස් හා යෝජනා ලබා ගැනීමටත් සාකච්ඡා වූ බව සඳහන් වේ. 
 
එහි පළමු පියවර ලෙස, පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට, මෙම යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළු 02ක් පවත්වන ලෙසත්, එමඟින් ඔවුන්ගේ යෝජනා සහ අදහස් ලබාගැනීමට කටයුතු කරන ලෙසත්, ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට උපදෙස් ලබා දෙන ලදී.