සයුරෙන් එතෙර
අමෙරිකානු නිදහස් දිනය දා ට්‍රම්ප් ගෙනා අලුත් පනත
July 7, 2025 03:23 pm
අමෙරිකානු නිදහස් දිනය වන පසුගිය ජූලි 04 වැනිදා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේ ආලින්දයේ පැවති ගාම්භීර උත්සවයකදී ඔහුගේ 'බිග් - බියුටිෆුල්' බදු කප්පාදු සහ වියදම් පනත් කෙටුම්පතට අත්සන් තැබුණි.
B2 සහ F-35 ප්‍රහාරක යානා, ගුවනේ සංදර්ශනයක නිරත වෙද්දී රිපබ්ලිකන් දේශපාලන නායකයන් සමග පැවැත්වූ එම උත්සවයේදී ජනපති ට්‍රම්ප් පැවසුවේ අමෙරිකානුවන් මේ තරම් සතුටට පත්වූ අවස්ථාවක් තමා කිසිදා නොදැක ඇති බවය.
ඒ තරම් විවිධ ජන කාණ්ඩයන් මේ බදු කප්පාදු පනතෙන් ප්‍රතිලාභ භුක්ති විඳින බව ඔහු සඳහන් කළේය.
ජනපති ට්‍රම්ප්ගේ දෙවැනි ධුර කාලයේ ආර්ථික ප්‍රතිපත්තිය නිරූපණය වන මෙම පනතින් අමෙරිකාව තවත් ණයගැති වන බව පවසන මිලියන සංඛ්‍යාත අමෙරිකානුවන් අතුරින් ඔහුගේ සමීපතම සගයා ලෙස සිටි ඊලෝන් මස්ක් ඔහුගේ ඊළඟ පියවරට පිවිසුණේය.
මෙම පනත් කෙටුම්පතට ජනපති ට්‍රම්ප් අත්සන් කිරීමට පෙර ඊලෝන් මස්ක් ඔහුගේ X සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් ප්‍රශ්නයක් විමසා තිබුණි.
ඒ අමෙරිකාවට නව දේශපාලන පක්ෂයක් අවශ්‍යද යන්නය.
ඒ අනුව සෙනසුරාදා දිනයේ ඊලෝන් මස්ක් ඔහුගේ නව දේශපාලන පක්ෂය X අවකාශය ඔස්සේම ප්‍රකාශයට පත් කළේය.
'අමෙරිකා පක්ෂය' (THE AMERICA PARTY) එදින පිහිටවූ බවත් එමගින් අමෙරිකානුවන්ට ඔවුන්ගේ අහිමි වූ නිදහස යළි ලබාදෙන බවත් ඊලෝන් මස්ක් එහිදී සඳහන් කළේය.
තමන්ගේ X සමීක්ෂණයේදී ජනතාව 2ට එකක් ලෙස නව දේශපාලන පක්ෂයක් ඉල්ලා සිටි බවත් ඒ අනුව එය පිහිටවනු ලැබූ බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
ටෙස්ලා සහ ස්පේස් X ඇතුළු සමාගම් සමූහයන් හරහා ලොව ධනවත්ම මිනිසා වූ ඊලෝන් මස්ක් ගත් මෙම පියවර සම්බන්ධයෙන් යහපත් මෙන්ම අයහපත් ප්‍රතිචාරයන්ද එල්ල වී තිබුණි.
ඊට ජනපති ට්‍රම්ප් ප්‍රතිචාර දැක්වීමට ප්‍රථම ඔහුගේ සමාගම්වල ආයෝජකයන් ප්‍රතිචාර දක්වා තිබුණි.
එමෙන්ම ඒ ආයෝජන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඊලෝන් මස්ක්ගේ දේශපාලන අභිලාෂයන් පිළිබඳ ටෙස්ලා අධ්‍යක්ෂක මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා ඇත.
ඔහු එහිදී සඳහන් කළේ ඊලෝන් මස්ක්ගේ මේ පියවරෙන් ආයෝජකයන්ගේ විශේෂයෙන් කොටස් හිමියන්ගේ විශ්වාසය පළුඳු වන බවය.
අමෙරිකානු රාජ්‍ය සේවයෙන් ඉවත් වූ පසු ඔහු සමාගමේ කටයුතුවලට වැඩි අවධානයක් යොමුකළ යුතු බව ඔහුගේ තර්කය විය.
අමෙරිකාව බංකොලොත් කරන ජනපති ට්‍රම්ප්ගේ බදු කප්පාදු පනත් කෙටුම්පතට සහාය දක්වන මහජන නියෝජිතයන් පරාජය කිරීමට නව දේශපාලන පක්ෂයක් පිහිටුවා තම ධනය යොදවන බව ඊලෝන් මස්ක් මීට පෙර ප්‍රකාශ කර තිබුණි.
ජනපති ට්‍රම්ප් සහ ඊලෝන් මස්ක් අතර මෙම විරසකය 2026 වසරේ පැවැත්වෙන අමෙරිකානු 'මිඩ් ටර්ම් ඉලෙක්ෂන්' නැත්නම් මැදිකාලීන මැතිවරණයේදී තම මන්ත්‍රීවරුන් නැවත තේරීපත්වීම අභියෝගයකට ලක්කරන බව රිපබ්ලිකන් පක්ෂයේ අදහස වී ඇත.
ජනපති ට්‍රම්ප්ගේ දෙවැනි ධුර කාලය සඳහා ඩොලර් මිලියන 300ක් පමණ වැය කළ ඊලෝන් මස්ක්ගේ සමාගම්වල කොටස් මිලටත් මෙම තත්ත්වය බලපා තිබේ.
පසුගිය දෙසැම්බරයේ ජනපති ට්‍රම්ප්ගේ දෙවැනි ධුර කාලයේ ජයග්‍රහණයත් සමගින් ඩොලර් 488 දක්වා ඉහළ ගිය ටෙස්ලා කොටස් මිල පසුගිය සතිය වනවිට ඩොලර් 315 දක්වා පහත වැටී තිබුණි.
ඊලෝන් මස්ක්ගේ නව දේශපාලන පක්ෂයට ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය
ඊලෝන් මස්ක්ගේ නව දේශපාලන පක්ෂය පිහිටුවීම ගැන ට්‍රම්ප් සඳහන් කළේ අමෙරිකාව තුන්වැනි දේශපාලන පක්ෂයක් පිහිටුවීම හාස්‍යජනක කරුණක් බවය.
අමෙරිකාව පක්ෂ දෙකක දේශපාලන ක්‍රමයට අනුගත වී සිදුකරන්නේ ජනතාව වික්ෂිප්ත කිරීමක් බව ජනපති ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේය.
රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් යන පක්ෂ දෙකකින් යුත් දේශපාලන ක්‍රමය මිස තුන්වැනි දේශපාලන පක්ෂයක් අමෙරිකාවේ කිසිදා සාර්ථක වී නොමැති බවද එහිදි ඔහු අවධාරණය කළේය.
ට්‍රම්ප් විදෙස් රටවලට යැවූ තිරුබදු ලිපිය
පසුගිය අප්‍රේල් මාසයේදී පනවා ජූලි 09 වැනිදා තෙක් අත්හිටවූ අන්‍යොන්‍ය තීරු බදු ක්‍රියාත්මක වීම ආරම්භ වන කාල සීමාව ජනපති ට්‍රම්ල් විසින් අගෝස්තු 01 වැනිදා දක්වා කල් දමා තිබේ.
එමෙන්ම අදාළ රටවලට පනවන නව තීරුබදු සීමාවන් ඇතුළත් ලිපි යැවීම අමෙරිකානු වේලාවෙන් අද දහවල් 12ට එනම් ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 9.30ට ආරම්භ කරන බවත් ඔහු සඳහන් කර ඇත.
ට්‍රම්ප් පරිපාලනය සඳහන් කළේ අදාළ ලිපි ජූලි 09 වැනිදා වනවිට අවසන් කරන බවය.
අමෙරිකාවේ ප්‍රධාන ගනුදෙනුකාර රටවල් සමග වෙළෙඳ එකඟතාවන්ට පැමිණීම සඳහා සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බවත් එම සාකච්ඡා අවසන් අදියරේ පවතින බවත් අමෙරිකානු වාණිජ ලේකම්වරයා පැවසුවේය.
කෙසේ නමුත් අමෙරිකාව සමග විශාල වෙළෙඳ ගනුදෙනු සිදුනොකරන කුඩා රටවල් සියයකට පමණ පසුගිය අප්‍රේල් 02 වැනිදා පැනවූ ඉහළ අන්‍යොන්‍ය තීරුබදුවලට මුහුණදීමට සිදුවනු ඇති බව වාණිජ ලේකම් ස්කොට් බෙසන්ට් සඳහන් කළේය.
එමෙන්ම බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවරට රැස්වී සිටින බ්‍රික්ස් සංවිධානයේ රටවලටත් අමතර 10%ක තීරුබදු පනවන බවට ජනපති ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කළේය.
ගෝලීය නොබැඳි ජාතීන් නියෝජනය කරන බ්‍රික්ස් සංවිධානය අමෙරිකානු විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන බවටද ජනපති ට්‍රම්ප් එහිදී චෝදනා කළේය.
ලෝක ජනගහනයෙන් 40%ක් නියෝජනය කරන බ්‍රික්ස් සංවිධානය මෙහිදී අමෙරිකාවේ ආරක්ෂණවාදී ප්‍රතිපත්තිය විවේචනයට ලක්කර තිබේ