සයුරෙන් එතෙර
ඉරානය ඇෆ්ගනිස්තානුවන්ට අමානුෂික වෙයි
July 6, 2025 11:54 pm
ඉරානය තුළ රැඳී සිටින මිලියන සංඛ්‍යාත ඇෆ්ගන් සංක්‍රමණිකයින් සහ සරණාගතයින්ට තවදුරටත් සිය රට තුළ රැඳී සිටීමට අයිතියක් නැති බවත්, වහාම එරටින් පිටව යන ලෙස ඉරාන බලධාරීන් දන්වා තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන්කර සිටියේ, සිය නියෝග පිළිනොගන්නා සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවට ඉරාන රජය අනතුරු අඟවා ඇති බවය.
කෙසේ වෙතත් ඉරානයේ මෙම තීරණයට කනස්සල්ල පළකරන මානුෂීය සංවිධාන පවසන්නේ, මෙම සමූහ පිටුවහල් කිරීම ලෝකයේ වඩාත්ම දිලිඳු රටක්වන ඇෆ්ගනිස්තානය තවදුරටත් අස්ථාවර කරනු ඇති බවයි.
ඉරානය තුළ මේ වනවිට ඇෆ්ගනිස්තාන සංක්‍රමණිකයන් සහ සරණාගතයින් මිලියන 4ක් පමණ සිටින බවට ඇස්තමේන්තු කර ඇත.
ඉන් බොහෝ දෙනෙක් දශක ගණනාවක සිට ඉරානයේ ජීවත්ව සිටින බව සඳහන්.
ඉරානය තුළ 'නීති විරෝධී ලෙස' ජීවත්වන විදේශිකයන් නෙරපා හැරීමේ ව්‍යාපාරය 2023 වසරේ සිට එරට තුළ ක්‍රියාත්මකය.
ඉකුත් මාර්තු මාසයේදී ඉරාන රජය නියෝගකර ඇත්තේ, තම රටතුළ රැඳී සිටීමට අයිතියක් නැති ඇෆ්ගනිස්තානුවන් ස්වේච්ඡාවෙන් පිටව යා යුතු බවය.
නැතහොත් නෙරපා හැරීමට කටයුතු කරන බවයි.
ඒ අනුව මේ වනවිට ඇෆ්ගනිස්තානුවන් ලක්ෂ 7කට වැඩි පිරිසක් ඉරානය අතහැර ගොස් තිබේ.
තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පිටුවහල් කිරීමට ඉරානය බලා සිටින බව සඳහන්.
ඉකුත් ජුනි මාසයේදී ලක්ෂ දෙකකට ( 230,000) වැඩි පිරිසක් ඉරානයෙන් පිටවගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පවසයි.