කොස්ගම වෙඩිතැබීමක්
July 6, 2025 05:23 am
කොස්ගම, සුදුවැල්ල ප්රදේශයේ අද (06) අලුයම සිදුකළ වෙඩිතැබීමකින් කුඩා දැරියක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබේ.
ඔවුන් තිදෙනා ත්රිරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී මෙම වෙඩි ප්රහාරයට ලක්ව ඇති බව පොලීසිය පැවසීය.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්ය.
අවිස්සාවේල්ල ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි මව, 12 හැවිරිදි දියණිය සහ තවත් 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළේය.
තුවාල ලැබූ පුද්ගලයින් ප්රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
පොලිසිය පවසන්නේ තුවාලකරුවන් අතර සිටින පිරිමි පුද්ගලයා කඳන ආරච්චිගේ ශ්රියන්ත කුමාර නොහොත් කොටහැර පොඩ්ඩා නමැති 44 හැවිරිදි පුද්ගලයෙකු බවට හදුනාගෙන ඇති බවය.
ඔහු අවිස්සාවේල්ල , හුසේනියාවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙකි.
වෙඩි ප්රහාරය එල්ල වීමත් සමග ඔහු ත්රීරෝද රථයෙන් බැස අතුරු මාර්ගයක් ඔස්සේ පලාගොස් නිවසක සැඟව සිට ඇති අතර ඔහුගේ දකුණු පාදයේ දණහිස ප්රදේශයට වෙඩි වැදීමෙන් තුවාල සිදුව තිබේ.
ඔහු සමඟ ත්රීරෝද රථයේ සිටි 30 හැවිරිදි කාන්තාවට සහ 12 හැවිරිදි සහ දියණියගේ දෑත්වලට ද තුවාල සිදුව තිබේ.
ප්රතිකාර සඳහා අවිස්සාවේල්ල මූලික රෝහල වෙත ඇතුළත් කෙරුණු තුවාලකරුවන් තිදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
වෙඩි තැබීමට හේතුව හා සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොස්ගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මෙම වෙඩිතැබීම සිදුවී පැය කිහිපයකට පසු කොස්ගම ප්රදේශය පුරා විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කිරීමට පොලිසිය පියවර ගත්තේ අවට පොලිස් ස්ථාන 5ක නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ පූගොඩ කඳවුරේ සාමාජිකයින්ගේද සහභාගිත්වයෙනි.