එක ඉනිමෙන් ඉන්දීය වාර්තා කිහිපයක් අලුත්කළ ගිල්

එක ඉනිමෙන් ඉන්දීය වාර්තා කිහිපයක් අලුත්කළ ගිල්

July 4, 2025   10:53 am

එංගලන්තයට එරෙහිව බර්මින්හැම්හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී වාර්ගත කඩඉම් කිහිපයක්ම පසුකිරීමට ඉන්දීය නායක ශුබ්මන් ගිල් සමත් විය.

ඔහු ඉන්දීය ඉනිම ඔසවා තබමින් ලකුණු 269ක් රැස්කිරීමට සමත් වූ අතර, ඒ හේතුවෙන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 587ක් රැස්කිරීමට හැකිවිය.

ගිල්ගේ මෙම ද්විත්ව ශතකය ඉන්දීය නායකයෙකු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය.

ඔහු විසින් පසුකරනු ලැබුවේ විරාට් කෝලි 2019 වසරේ දී පූනේ හිදී පැවැති තරගයකදී දකුණු අප්‍රිකාවට එරෙහිව‍ නොදැවී ලකුණු 254ක් රැස්කර තිබූ වාර්තාවයි.

එමෙන්ම මෙය ඉන්දීය පිතිකරුවෙකු එංගලන්තයට එරෙහිව එරටදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ද වේ.

ඔහු පසුකර යනු ලැබුවේ 1979 වසරේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරගයකදී සුනිල් ගවස්කාර් ලකුණු 221ක් රැස්කර පිහිටුවා තිබූ වාර්තාවය.

එමෙන්ම මෙය ඉන්දීය පිතිකරුවෙකු ටෙස්ට් තරගයදී රැස්කළ 7වන ඉහළම ලකුණු සංඛ්‍යාවද වෙයි.

එහි පෙරමුණේ පසුවන්නේ විරේන්ද්‍ර ශෙවාග් (319)ය.

මේ අතර ඉන්දියාව රැස්කළ ලකුණු සංඛ්‍යාවද 2022 වසරෙන් පසු එංගන්තයට එරෙහිව ලොව ඕනෑම කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද වේ.

මීට පෙර පාකිස්තානය රාවල්පින්ඩිහිදී පැවති තරගයකදී ලකුණු 579ක් රැස්කර තිබුණි.

දෙවන දිනට ඊයේ (3) තරගය නතරකරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි එංගලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 77ක් රැස්කරගෙන සිටියේය.

ඒ අනුව ඔවුන් ඉන්දීය පළමු ඉනිමට වඩා තවත් ලකුණු 510ක් පසුපසින් සිටියි.