කණ්ඩලමේ හැඩකාරයා ජීවිතයත් මරණයත් අතර සටනක
July 2, 2025 11:22 am
කණ්ඩලම වැව ආසන්නයේ පිටුපස පාදයකට වෙඩි වැදී සිටින වනඅලියෙකු මේ දිනවල දැකගත හැකි බව 'අද දෙරණ' වාර්තාකරු පැවසීය.
මේ අතර, මීට මාස ගණනාවකට පෙර සිට ඉදිරිපස පාදයකට වෙඩි වැදී මේ වනවිට ප්‍රතිකාර ලබන 'කණ්ඩලමේ හැඩකාරයා' නමින් හඳුන්වනු ලබන වනඅලියාගේ සෞඛ්‍ය තත්ත්වය ද මේ වනවිට අයපත් බව වාර්තා වේ.
වෙඩි වැදී සිටින වනඅලියා මිනිසුන් ගැවසෙන ප්‍රදේශයට පැමිණෙන අයුරු එහි ගිය අප වාර්තාකරුට දැකගත හැකි වූ අතර මේ වනතෙක් එම වනඅලියාට ප්‍රතිකාර සිදුකර නොමැති බව ද සඳහන්ය.
අවස්ථා ගණනාවකදී 'කණ්ඩලමේ හැඩකාරයාට' ප්‍රතිකාර කළ බව සීගිරිය වනජීවී නිලධාරීහු පෙන්වා දෙන අතර වෙඩි වැදී සිටින අනෙක් වනඅලියා ඊයේ (01) දින දැකගැනීමට හැකි වූ බව ඔවුන් පවසයි.
තවත් වනඅලින් කිහිපදෙනෙකුගේ රංචුවක සිටින වෙඩි වැදුණු වනඅලියාගේ පසුපස පාදය විශාල ලෙස ඉඳිමි, නැමිය නොහැකියව අඩිය තබන අතර, ජනතාව ගැවසෙන ප්‍රදේශවලට ගොස් සිය අසරණකම ප්‍රකාශ කරන බවක් හඟවමින් හැසිරෙන අයුරු එහි ගිය අප වාර්තාකරුට දැකගත හැකි වී තිබේ.
කෙසේ වෙතත් කණ්ඩලම හැඩකරන වනඅලින් කිහිපදෙනෙකුම මේවන විට දරුණු ලෙස වෙඩි ප්‍රහාරවලට ලක්වෙමින් තිබේ.
කණ්ඩලම වැවේ ජලය අඩුවීමත් සමග ඔවුන් වැව් ඉස්මත්තේ නිතර ගැවසෙන අතරම ප්‍රදේශයේ වැව වටා ඇති සංචාරක හෝටල්වලින් මෙම වනඅලින්ට ආහාර ලබා දීම ඔවුන් මිනිසුන්ට හුරු වී තිබීම නිසාම ගෙවතුවලට ගොස් ආහාර ලබාගැනීමට ද පුරුදු වී සිටී.
කෙසේ වෙතත් මේ වනවිට කණ්ඩලමේ හැඩකාරයා මේ වනවිටත් ජීවිතයත් මරණයත් අතර සටනක සිටින බවත් ප්‍රදේශවාසීන් ලබා දෙන දෙයක් ආහාරයට ගෙන ජීවත් වන බවත් වාර්තා වේ.
කණ්ඩලමේ සිටින වනඅලීන් මෙලෙස වෙඩි ප්‍රහාරයන්ට ලක්වීම පිළිබඳ කඩිනමින් වනජීවි දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කළ යුතු බව ද ප්‍රදේශවාසීහූ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.