පැතුම්ගේ සුපිරි ඉනිමෙන් සියලු ගෞරව ශ්‍රී ලංකාවට

පැතුම්ගේ සුපිරි ඉනිමෙන් සියලු ගෞරව ශ්‍රී ලංකාවට

June 19, 2025   05:39 pm

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන දිනට අද (19) තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 368ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටියේය.

ඒ අනුව බංග්ලාදේශය පළමු ඉනිමට රැස්කළ ලකුණු 495 වඩා ශ්‍රී ලංකාව පසුපසින් සිටින්නේ තවත් ලකුණු 127ක් පමණි.

තරගය නතර කරන විට කඩුල්ලේ රැඳී සිටි කමිඳු මෙන්ඩිස් ලකුණු 37ක් හා නායක ධනංජය ද සිල්වා ලකුණු 17ක් රැස්කරගෙන සිටියේය.

අද දිනයේ ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමේ සියලු ගෞරව පැතුම් නිස්සංක හිමිකරගත්තේය.

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉහළම ඉනිම ක්‍රීඩාකළ පැතුම්, ද්විත්ව ශතකයට ලකුණු 13ක් පසුපසින් සිටියදී ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

ඔහු පිටියෙන් ඉවත්ව යන විට පන්දු 256කට මුහුණ දී ලකුණු 187ක් රැස්කරගෙන සිටි අතර, එම ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 23ක් ඇතුළත් විය.

මීට පෙර පැතුම් සිය ටෙස්ට් දිවියේ ඉහළම ඉනිම ක්‍රීඩාකර තිබුණේ එංගලන්තයට.

2024 වසරේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරගයදී ඔහු නොදැවී ලකුණු 127ක් රැස්කර තිබුණි. 

පැතුම්ට අමතරව දිනේෂ් චන්මාල් ලකුණු 54ක් රැස්කළ අතර, සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩාකරන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 39කට දැවි ගියේය.