ජනපතිගේ ජර්මානු සංචාරය ගැන සිදුකළ වැරදි පුවතක්
June 18, 2025 07:51 pm
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉකුත්දා සිදුකළ ජර්මානු සංචාරයේ නිරතව සිටියදී, ඒ පිළිබඳව ජනතාව කුපිත කරන ආකාරයේ අසත්‍ය හා ද්වේෂ සහගත තොරතුරු අන්තර්ජාලයේ මුදාහැර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ වාර්තාවක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයකු වන ජී. සුභාෂ් චමින්ද රොෂාන් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
ජර්මානු සංචාරය අතරතුර ජනාධිපතිවරයා කොටි නායකයෙකු හමුවන බවට ආරංචි ලැබී ඇති බවට හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පවසා ඇති බව සඳහන්.
එම සාකච්ඡාව විවිධ මාධ්‍ය මෙන්ම අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට පෙන්වා දී තිබේ.
ජනාධිපතිවරයා ඇතුළු රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණෙන් මෙම ප්‍රකාශය සිදු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.
ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස නියම කළ මහෙස්ත්‍රාත්වරිය, එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස නියෝග කළාය.