අමෙරිකානු ප්‍රහාරක යානා මැදපෙරදිග කලාපයට

අමෙරිකානු ප්‍රහාරක යානා මැදපෙරදිග කලාපයට

June 18, 2025   04:27 pm

මැදපෙරදිග යුද තත්ත්වය තවත් තීව්‍ර වන තත්ත්වයක් පෙන්නුම් කරමින් අමෙරිකාව ද ඉරාන - ඊශ්‍රායල යුද ගැටුම්වලට සම්බන්ධවීමේ අවදානමක් මතුව තිබේ.

ඒ ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමෙයිනි සැඟවී සිටින ස්ථානය දැන සිටින නමුත්, ඔහු ඝාතනය කිරීමට තමන් දැනට කටයුතු නොකරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ දැඩි ප්‍රකාශයක් සමගින්.

ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළට එරෙහිව ඊශ්‍රායලය ආරම්භ කළ යුදමය ක්‍රියාමාර්ගය මේ වනවිට වඩාත් තීරණාත්මක සංධිස්ථානයක් වෙත පැමිණ තිබේ.

ඒ දෙරට අතර පවතින යුද්ධයට අමෙරිකාව ද සම්බන්ධ වීමට පවතින අවදානම හේතුවෙනි.

පසුගිය සිකුරාදා ඊශ්‍රායලය ඉරානය වෙත පළමු ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේදී තමන් ඊට කිසිසේත් ආධාර හෝ අනුබල නොදුන් බව අමෙරිකාව වහාම ප්‍රකාශ කළේය.

කෙසේ නමුත්, මෙතෙක් පැවති ස්ථාවරයෙන් ඉවත්වෙමින් වඩාත් දැඩි ප්‍රකාශයක් නිකුත් කිරීමට ඊයේ රාත්‍රියේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළේය.

ඒ ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමෙයිනි සැඟවී සිටින ස්ථානය තමන් දන්නා බවට සිය ටෘෘත් සෝෂල් සමාජ මාධ්‍යෙය් තර්ජනාත්මක සටහනක් තබමිනි.

කමෙයිනි ඉතාම පහසු ඉලක්කයක් වී ඇති නමුත්, 'දැනට' ඔහු මරා දැමීමට කටයුතු නොකරන බවත්, අමෙරිකාවේ ඉවසීම ගිලිහී යමින් පවතින බවත් ට්‍රම්ප් එම සටහනේ සඳහන් කර තිබුණි.

ඔහු තැබූ දෙවැනි සටහනේ සඳහන්ව තිබුණේ 'කොන්දේසි විරහිතව යටත් වන්න' යන්නයි.

එමෙන්ම ඉරාන ගුවන් කලාපයේ බලය මුළුමනින්ම අමෙරිකාව සහ ඊශ්‍රායලය සතු බවත් ට්‍රම්ප්ගේ තවත් සමාජ මාධ්‍ය සටහනක දැක්වුණි.

ඒ අනුව අමෙරිකාවට අයත් F-16, F-22 සහ F-35 ප්‍රහාරක යානා රැසක් මැදපෙරදිග කලාපය වෙත යොමුකිරීමටත් අමෙරිකාව පියවර ගෙන තිබේ.

ඉරානයේ ටෙහෙරාන් නුවර ඇතුළු කලාප රැසකට ඊයේ රාත්‍රිය පුරා ප්‍රහාර 100කට වැඩි සංඛ්‍යාවක් එල්ල වූයේ මෙම ප්‍රකාශවලට සමගාමීවය.

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට අනුබද්ධිත ඉමාම් හුසේන් විශ්වවිද්‍යාලය, ටෙහෙරාන් ආසන්න කෝජියර් මිසයිල නිෂ්පාදන කම්හල ඇතුළු ස්ථාන රැසක් එම ප්‍රහාරවල ඉලක්ක වී තිබුණි.

කෙසේ නමුත් ට්‍රම්ප්ගේ තර්ජන නොතකමින් කටයුතු කරන ඉරාන ආධ්‍යාත්මික නායක කමෙයිනි ද X සටහනක් තබමින් අවධාරණය කළේ, ඉරානය කිසිදාක ඊශ්‍රායලය සමඟ සම්මුතියකට නොඑළැඹෙන බවය.

සටන ඇරඹුණු බවත් ඔහු එහි සටහන් කර තිබුණි.

ගෙවුණු කාලය පුරා ඊශ්‍රායලයේ ටෙල් අවීව් සහ හයිෆා වැනි කලාප වෙත ඉරාන මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල වුණේ එම ප්‍රකාශය තහවුරු කරමිනි.

ඒ ප්‍රහාරවලදී ඉරානයේ නිෂ්පාදිත අති නවීන ෆාටා වන් හයිපර්සොනික් මිසයිල ද යොදාගෙන තිබුණි.

කෙසේ නමුත් ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන අධ්‍යාත්මික නායකයාගේ සමීප කවයේ සිටි බොහෝ පිරිසක් මරු වැළඳගෙන ඇති බව රහසක් නොවේ.

ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ මුළුමනින්ම වැළැක්වීම ඊශ්‍රායලයේ සැලසුම වේ.

එහිදී ඊශ්‍රායලයේ වැඩි අවධානය යොමුව ඇත්තේ, ඉරානයේ ශුද්ධවූ කොම් නගරය ආසන්නයේ කඳුකර කලාපයක වඩාත් රහසිගතව සකසා ඇති භූගත උමං මාර්ග පහකින් යුතු ෆෝඩෝ යුරේනියම් බලගැන්වීමේ කම්හල සම්බන්ධයෙනි.

පෙළොව මට්ටමින් මීටර් 90ක් අභ්‍යන්තරයේ පිහිටා ඇතැයි සැලකෙන මේ කම්හලට හානි කිරීමට නම් ඊශ්‍රායලයට අමෙරිකාවේ බලගතු අවි සහ සහාය නිසැකවම අවශ්‍ය වන බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවසයි.

උද්ගතව ඇති යුද අවදානම හමුවේ ඉරානයේ සහ ඊශ්‍රායලයේ රැඳී සිටින සිය පුරවැසියන් කඩිනම් එම රටවලින් ඉවත්කරගැනීමට චීනය, රුසියාව, ඉන්දියාව ඇතුළු රටවල් රැසක් පියවර ගනිමින් සිටී.

එමෙන්ම මෙම යුද්ධයේදී චීනයේ සහ රුසියාවේ භූමිකාව සම්බන්ධව ද කාගෙත් අවධානය යොමුව තිබේ.

යුද විශේෂයින් දැනටමත් පුරෝකතනය කරන්නේ දැනටමත් යුද්ධයකට පැටලී සිටින රුසියාව  මෙම යුද්ධයට සෘජුව දායක නොවනු ඇති බවය.

කෙසේ නමුත්, යුධෝපකරණ රැගත් චීන ගුවන් යානා තුනක්, රේඩාර් පද්ධති මඟහැර ඉරානයට පැමිණි බවට පුවත් වාර්තා වෙමින් පවතී.

මෙම වාර්තාවලට අනුව මෙලෙස පැමිණ ඇත්තේ බෝයි 747 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන යානා තුනකි.

මේ සියල්ල අතරවාරයේ ඊශ්‍රායලය පවසන්නේ තමන් ඉරානය නමැති බූවල්ලා උපක්‍රමිකව අඩපණ කරන බවය.