තැන් 3ක මනුෂ්‍ය ඝාතන 3ක් - වෑන් රථයකුත් කොල්ලකයි

තැන් 3ක මනුෂ්‍ය ඝාතන 3ක් - වෑන් රථයකුත් කොල්ලකයි

June 14, 2025   07:46 am

පුද්ගලයෙකුගේ දෑත් දෙපා ගැට ගසා ඝාතනය කර නිවසේ තිබූ වෑන් රථයක් කොල්ලකෑමේ සිද්ධියක් වෙන්නප්පුවෙන් වාර්තා වෙයි.

වෙන්නප්පුව පොලිස් වසමේ දකුණු උල්හිටියාව ප්‍රදේශයේදී ඊයේ (13) මෙම සිද්ධිය ඇතිවී තිබෙන අතර වෙන්නප්පුව පොලීසියට ලද පැමිණිල්ලක් මත සිද්ධිය සම්බන්ධයෙන්  විමර්ශන ආරම්භ කර තිබේ.

මරණකරු වයස අවුරුදු 64ක් වූ මූදූකටුව, මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අපරාධය වූ නිවසේ නිවැසියන් ඉතාලියේ පදිංචිව සිටින අතර ඝාතනයට ලක්වූ පුද්ගලයා පමණක් එම නිවසේ මුරකරු වශයෙන් සේවය කරමින් සිට ඇත.

විදේශගතව සිටින නිවැසියන්ගේ ඥාතියෙකු එම නිවසට පැමිණි අවස්ථාවේ මුරකරු දෑත් දෙපා ගැට ගසා නිවසේ කාමරයක මියගොස් සිටින බව දැක ඇති අතර නිවසේ ගාරාජයේ නවතා තිබූ වෑන් රථයද නොමැති බවට පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබුණි.

අපරාධයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර ඊයේ රාත්‍රී කාලයේදී හොරණ පොලිස් වසමේ දඹර ප්‍රදේශයේදී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 63ක් වූ දඹර, මීවනපලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු තම නිවසේ තවත් පුද්ගලයෙකු සමග මත්පැන් පානය කරමින් සිටියදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් එම සැකකරු විසින් ඔහුගේ හිසට මෝල් ගසකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව අනාවරණය වී ඇත.

සැකකරු ඝාතනය වූ පුද්ගලයාගේ ඥාතී පුතෙකු බවත් විමර්ශනයේදී හෙළිවී තිබේ.

හොරණ පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 43ක් වන සැකකරු අත්අඩංගුවට ගත් බවය. 

ඊයේ රාත්‍රියේ තියුණු ආයුධවලින් පුද්ගලයෙකුට පහරදී තවත් ඝාතනයක් සිදුකර තිබේ.

ඒ, කෝපායි පොලිස් වසමේ මඩතඩි ප්‍රදේශයේදී ය.

ඝාතනයට ලක්වී ඇත්තේ වයස අවුරුදු 44ක් වූ මඩතඩි, ඉරුබාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී මඩතඩි ප්‍රදේශයේදී සැකකරුවන් සැඟව සිට තියුණු ආයුධවලින් පහරදී ඇත.

එහිදී බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයාව යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.