මත්ලෝලීන්ට නීතිවිරෝධීව වේදනා නාශක අලෙවි කරන ජාවාරම හසුවූ හැටි
June 7, 2025 07:51 pm
මත්ලෝලීන් සඳහා නීති විරෝධී අයුරින් වේදනානාශක අලෙවි කරන ජාවාරමක් නීතියේ රැහැනට හසුකරදීමට අද දෙරණ උකුස්සාට හැකිවිය.
උකුස්සාගේ අද අනාවරණය ඒ පිළිබඳවයි.
මත්ලෝලීන් හට, ස්නායු රෝග සඳහා භාවිත කෙරෙන වේදනා නාශක ඖෂධ නීතිවිරෝධී ලෙස ලබාදෙන ඔසුසල් දෙකක් පිළිබඳ කොටුව හා පිටකොටුව ප්‍රදේශවලින් කොටුව පොලිස් ස්ථානයට රහසිගත තොරතුරක් ලැබී තිබුණි.
ඒ අනුව කොටුව පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් එම ස්ථාන සොයා ගියේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් සහ අද දෙරණ උකුස්සා ද එක්කරගනිමිනි.
පළමුව අප කණ්ඩායම ඇතුළුවූයේ කොළඹ, කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි ඔසුසලකටය.
එහිදී මත්ලෝලීන්ට වැඩි මිලට එම වේදනා නාශක ඖෂධ අලෙවි කරන අයුරු දක්නට ලැබුණි.
එම ඔසුසලෙන් අදාළ ඖෂධය මිලදීගෙන පැමිණි මත්ලෝලියෙකු පොලිස් නිලධාරීන් මඟ රැක සිට සිය භාරයට ගත්තේ මෙලෙසිනි.
ඔහු හෙළි කළ කරුණු අනුව එම ඔසුසල ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් විසින් පරීක්ෂා කරනු ලැබීය.
එහිදී අනාවරණ වූයේ මත්ලෝලීන් හට ඔසුසල තුළදීම එම ඖෂධය පානය කිරීමට ද අවස්ථාව දී ඇති බවය.
කිසිඳු වෛද්‍ය නිර්දේශයක් හෝ නොමැතිව ඒවා වැඩි මිලට අලෙවි කරන බවත් මෙහිදී අනාවරණ විය.
වැඩිදුර පරික්ෂාවේදී හෙළි වූයේ එම ඔසුසලේ ඖෂධවේදියෙකු හෝ නොමැති බවය.
මේ අතර පිටකොටුවේ බෝගස අසල පිහිටි ඔසුසලකත් එම වේදනා නාශක ඖෂධ අලෙවි කරන බවට ලද තොරතුරකට අනුව විමර්ශකයන් එම ස්ථානයට ද ළඟා විය.
එහිදීද මඟ රැක සිටි පොලිස් නිලධාරීන් එම ස්ථානයෙන් අදාළ ඖෂධ මිලදීගෙන පැමිණෙන මත්ලෝලියෙකු සිය භාරයට ගනු ලැබීය.
එම ඔසුසලේ ද ඖෂධ අලෙවිකරන පුද්ගලයා ඖෂධවේදියෙකු නොවන අතර නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ එම පුද්ගලයා නිරුත්තර වුණු දක්නට ලැබුණි.
අදාළ ඔසුසල තුළ ද මත්ලෝලීන් සඳහා වේදනා නාශක ඖෂධ පානය කිරීමට අවශ්‍ය පහසුකම් ද සලසා තිබුණි.
මේ සම්බන්ධව අදහස් දක්වමින් ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් සඳහන් කළේ ඒ අනුව අදාළ ඔසුසල් දෙකටම දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවය.