හෙටත් දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

හෙටත් දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

June 1, 2025   06:58 pm

හෙට (02) දිනයේ ද දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් පෙන්වාදෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවය.

කෙසේවෙතත් පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය මේ වනවිට පහව යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ පවුල් 2,541කට අයත් පුද්ගලයින් 9,975 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව සිටින බවය.

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වයෙන් වගා හානි සිදුවූ ගොවීන් සඳහා වන්දි ලබාදීමට කටයුතු කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පවසන්නේ වගා හානි තත්ත්වයන් නිරීක්ෂණය කර ඊට අදාළ වාර්තා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන් මාර්ගයෙන් ලබාගැනීමෙන් පසුව වන්දි ලබාදීම සිදුකරන බවය. 

පැවති අයහපත් කාලගුණ තත්ත්වයෙන් බස්නාහිර, දකුණ, වයඹ, මධ්‍යම සහ සබරගමුව යන පළාත්වල වී ඇතුළු වගාවන්ට බලපෑම් එල්ල වී ඇති බව පේමසිරි ජාසිංආරච්චි මහතා පැවසීය.