ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාර්යාලය සම්බන්ධ නඩුවක් කල් යයි
May 27, 2025 03:39 pm
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාර්යාලය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ල විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ජූලි මස 23 වන දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (27) නියෝග කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.
මෙම පෙත්සම අද අභියාචනාදීකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා ඇත.
එහිදී වග උත්තරකාර තිලංග සුමතිපාල මහතාගේ පාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුකරය ඉල්ලා අස්කර ගැනීමට තම සේවා දායකයින් තීරණය කර ඇති බවය.
ඒ අනුව මෙම නඩුකරය සමථයට පත්කර ගැනීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් එම නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව මෙම පෙත්සම ජුලි මස 23 වනදා කැඳවීමටද නියම කර තිබේ.
පෙත්සම්කාර නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටින්නේ තිලංග සුමතිපාල මහතා මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලය ද නිදහස් පක්ෂ කාර්යාලයේ කොටසක තිබෙන බවය.
ඉකුත් වසරේ තිලංග සුමතිපාල මහතා පක්ෂ කාර්යාලය තුළ සිටියදී ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු පැමිණ ඉබි යතුරු දමා දොර වසා දැමූ බවට චෝදනා කරමින් තිලංග සුමතිපාල මහතා විසින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එම පුද්ගලික පැමිණිල්ල තුළින් සාපරාදී බලය යෙදවීම සහ අයුතු රඳවා ගැනීම යන චෝදනා එල්ල කර ඇති බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කර තිබේ.
එම පැමිණිල්ල සලකා බැලූ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය තමන්ට ඉකුත් වසරේ ජූලි මස 23 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර ඇතැයි සඳහන් කළ සිරිපාල ද සිල්වා මහතා එසේ සිතාසි නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවත් අභියාචනාදීකරණය හමුවේ සඳහන් කර ඇත.
ඒ අනුව තමන්ට එරෙහිව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන පෞද්ගලික පැමිණිල්ල විභාග කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා තිබේ.