ඒබීගේ ලෝක වාර්තාවක් ෆෝඩ් සමකරයි

May 24, 2025   10:42 am

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ වේගත්ම අර්ධ ශතකය වාර්තාකර සිටි දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියර්ස්ගේ වාර්තාව සමකිරීමට කොදෙව් ක්‍රීඩක මැතිව් ෆෝඩ් ඊයේ (23) සමත් විය.

අයර්ලන්තයට එරෙහිව ඩබ්ලින්හිදී පැවති මෙම තරගයේදී ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩාකළ ෆෝඩ් පන්දු 19කින් ලකුණු 58ක් රැස්කළේය.

ඉන් ඔහු අර්ධ ශතක කඩඉම පන්දු 16කින් පසුකර යෑමට සමත් විය.

ඩිවිලියර්ස් 2015 වසරේ දී බ.ඉ. කොදෙව්වන්ට එරෙහිව මෙම වාර්තාව පිහිටුවා තිබුණි.

ජොහැන්නස්බර්ග්හිදී පැවති එම තරගයේදී ඔහු පන්දු 16කින් අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට අමතරව, සිය ඉනිම අවසන් කළේ පන්දු 44කින් ලකුණු 149ක් ලබා ගනිමිනි.

මෙම තරගයේ දී කොදෙව් කණ්ඩායම පන්දුවාර 50ට ලකුණු 352ක් රැස්කිරීමට සමත් විය.

කෙසේ නමුත් වර්ෂාව හේතුවෙන් අයර්ලන්තයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකිරීමට නොහැකි විය.