ගල්කිස්සේ දී තරුණයෙකුට පන්න පන්නා වෙඩිතැබූ වෙඩික්කරු මාට්ටු

ගල්කිස්සේ දී තරුණයෙකුට පන්න පන්නා වෙඩිතැබූ වෙඩික්කරු මාට්ටු

May 19, 2025   11:42 am


ගාලු පාරේ වෙරළ පාර ආසන්නයේ තරුණයෙකු පසු පස එළවා පැමිණ වෙඩිතබා ඝාතනය කළ වෙඩික්කරු සමග යතුරුපැදිය පැදවූ පුද්ගලයා සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

වෙඩික්කරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, 9mm වර්ගයේ ජීව උණ්ඩ 15ක් හා යතුරුපැදි අංක තහඩු දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.

කොට්ටාව විහාර මාවතේදී අත්අඩංගුවට ගත් වෙඩික්කරු ගුවන් හමුදාවේ වසර එකහමාරක කාලයක් සේවය කළ ගුවන් හමුදා සෙබළෙක් බව පොලීසිය පැවසීය.

ඝාතනය සඳහා වෙඩික්කරු රැගෙන ආ යතුරුපැදිය කොටස් කර ව්‍යාජ අංක තහඩු දෙකක් සමග පැදිකරුද ඔහු පදිංචි කොට්ටාව මාබුල්ගොඩ ප්‍රදේශයේ නිවස පිටුපස වළ දමා තිබියදී සොයා ගෙන තිබේ.

තවද එම ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙකුද ඉකුත්10 වෙනි දින අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන සිදුකළ විමර්ශනවලදී එම අපරාධයට මෙරටදී සම්බන්ධ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් පස්වෙනි දින සිදුකළ එම වෙඩි තැබීමෙන් මිය ගොස් තිබුනේ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය අංශයේ කම්කරුවෙකු ලෙස කොන්ත්‍රාත් පදනම මත රැකියාව කරන ලද දෙහිවල ඕබන් පෙදෙසේ පදිංචිව සිටි ප්‍රවීන් නිසංක නැමති වයස අවුරුදු 19 ක තරුණයෙකි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ගල්කිස්ස සිල්වෙස්ටර් පාර ප්‍රදේශය පිරිසිදු කරමින් සිටියදී සැකකරු යතුරු පැදිය පදවාගෙන යමින් සිටියදී පසු පැදිකරු එහි සිටම වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබිණි.

ඝාතනයට ලක් වූ තරුණයා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන දෙහිවල චතුරි නමැත්තියගේ පුත්‍රයා බවත් ඇය මේ වනවිට බන්ධනාගාර ගතව සිටින අතර එම තැනැත්තියගේ දියණියත් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම සිදුකරන බව පොලීසිය පවසයි.