ශ්‍රීලංකන් කාගෝ වෙත ජාත්‍යන්තර සහතිකකරණයක්

ශ්‍රීලංකන් කාගෝ වෙත ජාත්‍යන්තර සහතිකකරණයක්

May 8, 2025   03:42 pm

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ශ්‍රීලංකන් කාගෝ (Cargo) CEIV ලිතියම් බැටරි සහතිකකරණය (Center of Excellence for Independent Validators –  Lithium Batteries) හිමි කරගෙන තිබේ.

මෙම සහතිකකරණය පිරිනමනු ලබන්නේ ජාත්‍යන්තර ගුවන්සේවා සංගමය වන IATA (International Air Transport Association) මගිනි. 

ඒ අනුව මේ වනවිට ශ්‍රීලංකන් ගුවන්සේවය ලොව ලිතියම් සහ සෝඩියම් අයන් බැටරි ප්‍රවාහනය සම්බන්ධයෙන් මෙම විශිෂ්ටතා තත්ත්ව සහතිකය හිමිකරගත් ප්‍රධාන පෙළේ ගුවන් සේවාවන් හා සේවා සම්පාදක සමාගම් අතරට එක් වී සිටී. 

දකුණු ආසියානු කලාපයේ ගුවන් සේවාවකට මෙම සහතිකකරණය හිමි වූ ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයක්ය.

දැඩි පරීක්ෂණ හා විගණන ක්‍රියාපටිපාටියකින් අනතුරුව මෙම සහතිකකරණය ශ්‍රීලංකන් කාගෝ වෙත පිරිනමන ලදී. 

මෙම සහතිකය පිරිනැමීම සඳහා සිදුකළ විගණනයේදී ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය විසින් භාණ්ඩවල ප්‍රමිතිය සහ ආරක්ෂාව උදෙසා අනුගමනය කරනු ලබන විධිවිධාන, කාර්ය මණ්ඩලයේ දැනුම, පුහුණුකිරීමේ ක්‍රියාවලි, ලිපිලේඛන භාවිතය, යටිතල පහසුකම්, උපකරණ, පාරිභෝගික කළමනාකරණය සහ මෙහෙයුම් කටයුතු ඇතුළු සියල්ල පරීක්ෂාවට ලක්කෙරිණි. ලිතියම් සහ සෝඩියම් අයන් බැටරි සුරක්ෂිතව ප්‍රවාහනය කිරීමේ සහ ගබඩා කිරීමේ හැකියාව ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය සතු බව එමගින් සනාථ විය.

මෙම සහතිකකරණය මගින් ශ්‍රීලංකන් කාගෝ සේවාවේ හැකියාවන් සම්බන්ධයෙන් විදේශ භාණ්ඩ ප්‍රවාහන සහ කාර්ය සම්පාදන සමාගම් සතු විශ්වාසය තවදුරටත් තහවුරු වනු ඇත. 

එමෙන්ම මෙමගින් දැඩි ප්‍රමිතීන් හා සම්මතයන් සහිත, විවිධ පාර්ශ්ව අතර පවතින අන්‍යෝන්‍ය විශ්වාසය අතිශයින් තීරණාත්මක වන ගෝලීය බැටරි සහ බැටරි භාවිතා වන නිෂ්පාදන සැපයුම් ජාලය තුළ සිය තරගකාරීත්වය තවදුරටත් වර්ධනය කරගැනීමට ශ්‍රීලංකන් කාගෝ සේවාවට හැකියාව ලැබේ. 

මෙම නිෂ්පාදනවලට ජංගම දුරකථන, ලැප්ටොප්, ජංගම ඉලෙක්ට්‍රොනික උපාංග, දුරස්ථ පාලක උපාංග, සංචාරක උපාංග සහ සෙල්ලම් බඩු වැනි භාණ්ඩ වර්ග රාශියක් ඇතුළත් වී ඇත.

මෙම සහතිකකරණය මගින් ශ්‍රීලංකන් කාගෝ කාර්ය මණ්ඩලයේ දැනුම හා පුහුණුව වර්ධනය වීම සහ නව සහයෝගීත්වයන් නිර්මාණය වීම හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආදායම සහ කාර්යක්ෂමතාවද ඉහළ යනු ඇති අතර, එය මෙරට ආනයන හා අපනයන ක්ෂේත්‍රයන්ටද බෙහෙවින් හිතකර ලෙස බලපානු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රීලංකන් කාගෝ මේ වන විට යුරෝපය, මැදපෙරදිග, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව, ඈත පෙරදිග සහ ඔස්ට්‍රේලියාව ඇතුළු කලාප රාශියක් වෙත ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවාවන් සපයයි. 

රටවල් 21ක ගමනාන්ත 30කට වැඩි සංඛ්‍යාවක් ආවරණය කරන සෘජු සේවා ජාලයක් සහ ලොව තවත් නගර සිය ගණනක් වෙත විහිදෙන හවුල්කාරීත්ව සේවා ජාලයක්ද එය සතුය. 

තම හවුල්කරුවන් සමග එක් වී ගොඩබිම් ප්‍රවාහන පහසුකම්ද පිරිනමමින්, ශ්‍රීලංකන් ගුවන් සේවාවේ සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක වන රටවලින් ඔබ්බට පවා භාණ්ඩ ප්‍රවාහන සේවාවන් සැපයීමට ශ්‍රීලංකන් කාගෝ සමත් වී ඇත.