සරසවි සිසුවාගේ මරණය ගැන අන්තරේ කරුණු කියයි

සරසවි සිසුවාගේ මරණය ගැන අන්තරේ කරුණු කියයි

May 1, 2025   08:40 pm

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 23 හැවිරිදි චරිත් දිල්ශාන්ගේ මරණය සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ, "චරිත් දිල්ශාන් සොයුරාගේ හදිසි අභාවය පිළිබඳ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමු." යනුවෙනි.

මරණයට හේතුව නවකවධ සිදුවීමක් බවට වූ චෝදනාවක් ඇති බැවින් මේ පිළිබඳව පටු න්‍යාය පත්‍රවලින් තොරවූ පූර්ණ අපක්ෂපාතී විමර්ශනයක් පවත්වන ලෙසත් චෝදනා සත්‍ය නම් විත්තිකරුවන්ට දඬුවම් පමුණුවන ලෙසත් සිය ශිෂ්‍ය සංගමය ඉල්ලා සිටින බවත් එහි දැක්වෙයි.

අදාළ විමර්ශන සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පූර්ණ සහයෝගය ලබා දෙන බවත් සඳහන් කරයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත්,

"නවකවධය වැනි පසුගාමීත්වයන්ගේ පැවතීම විසින් පරාජයන් විනා ශිෂ්‍ය ව්‍යාපාරයට අත්කර දුන් ජයග්‍රහණ කිසිවක් නැත. විශේෂයෙන්ම මෙවැනි සිදුවීම් ප්‍රබල තර්කයන් බවට පත් කරගනිමින් පාලකයින් අධ්‍යාපන පෞද්ගලීකරණයට අදාළ තර්ක තහවුරු කරගැනීමට කටයුතු කරන අතර දැවැන්ත ප්‍රචාරක ව්‍යාපෘති බවට පත්කර ගනී. එබැවින් නවකවධය වැනි සංස්කෘතික පසුගාමීකම් සමඟ ශිෂ්‍ය ව්‍යාපාරයට කිසිඳු සම්මුතියක් නැත."

"ශිෂ්‍ය ව්‍යාපාරයේ පැවැත්මට ද බාධාවක් වන පසුගාමී සංස්කෘතික ශේෂයන් විශ්වවිද්‍යාලවලින් තුරන් විය යුතු අතර ඒ සඳහා ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අපත් ඇතුළුව සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාව තුළම බරපතළ සංස්කෘතික සංවාදයක් ඇති කළ යුතු බව අපගේ අදහසයි. පවතින පසුගාමී සංස්කෘතික ශේෂයන් විශ්වවිද්‍යාලවලින් තුරන් කිරීමට මැදිහත්වන ලෙස අප සියලු විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගෙන් ඉල්ලා සිටිමු."