
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සිය සන්තකයේ තබාගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පුත්තලම ප්‍රාදේශීය සභාවේ සර්වජන බලයේ ලැයිස්තු අපේක්ෂිකාවක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළේය.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 85ක් සන්තකයේ තබාගැනීමක් සම්බන්ධයෙන් අදාළ අපේක්ෂිකාව පුත්තලම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
රත්මල්යාය ප්‍රදේශයේ ලිපි බෙදාහරින තැපැල්කරු විසින් අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහරින ලෙස තමා සන්තකයේ තබාගිය බව ඇය පවසා තිබේ.
ගම්වාසීන් පිරිසක් අවමංගල්‍ය උත්සවයකට සහභාගිවීම හේතුවෙන් තැපැල්කරුට එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමට නොහැකි වීම හේතුවෙන් එලෙස ඒවා තමා සන්තකයේ තබා ගිය බව ඇය අධිකරණය හමුවේ වැඩිදුරටත් පවසා ඇත.
කෙසේ වෙතත් තමා මීට පෙරද තැපැල්කරු විසින් ලබාදෙන තැපැල්පත් ද ගම්වාසීන් වෙත බෙදාදෙන බව ඇය පවසා තිබේ.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකාර අපේක්ෂිකාව ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.
















































