බංග්ලාදේශයේදී සිම්බාබ්වේට තියුණු ටෙස්ට් ජයක්

බංග්ලාදේශයේදී සිම්බාබ්වේට තියුණු ටෙස්ට් ජයක්

April 23, 2025   07:19 pm

බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර ශිල්හෙට්හිදී අද (23) අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක තියුණු ජයක් ලැබීමට සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරග 2කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට සිම්බාබ්වේට හැකිවිය.

තරගයේ අවසන් දිනය වූ අද බංග්ලාදේශයෙන් ලබාදුන් ලකුණු 174ක ඉලක්කය කඩුලු 7ක් දැවී තිබියදී සම්පූර්ණ පසුකරයෑමට සිම්බාබ්වේ පිතිකරුවන් කටයුතු කළේය.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පළමු ඉනිමට ලකුණු 191ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස සිම්බාබ්වේ සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 273ක් රැස්කිරීමට සමත් විය.

ඉන් අනතුරුව ලකුණු 82ක් පසුපසින් යළි දෙවන ඉනිම ඇරඹූ බංග්ලාදේශය එවර සියලු දෙනා දැවී ලකුණු 255ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 174ක ඉලක්කයක් හිමිවිය. 

තරගයේ වීරයා ලෙස සිම්බාබ්වේ වේගපන්දු යවන ක්‍රීඩක බ්ලෙසින් මුසර්බානි සම්මාන දිනාගත්තේය.

ඔහු සමස්ත තරගයේදී කඩුලු 9ක් (3/50, 6/72) දවාගැනීමට සමත් විය.

මෙය බංග්ලාදේශය හමුවේ අඛණ්ඩ ටෙස්ට් තරග 3ක පරාජයකට පසු සිම්බාබ්වේ ලැබූ පළමු ටෙස්ට් ජය වේ.

එමෙන්ම ඔවුන් අවසන්වරට බංග්ලාදේශය ටෙස්ට් තරගයකදී පරාජය කර තිබුණේද මෙම ක්‍රීඩාංගණයේදීම වීම විශේෂත්වයක්ය.

අද අවසන් වූයේ තරගය දෙරට අතර පැවැත් වූ 19වන ටෙස්ට් තරගය වූ අතර, ඉන් සිම්බාබ්වේ ලැබූ 8නව ජයග්‍රහණය විය.

තරග 8ක් ඔවුන් බංග්ලාදේශය හමුවේ පරාජය වී ඇති අතර, තරග 3ක් ජයපරාජයෙන් තොරව අවසන් වී ඇත.