රුපියල් ලක්ෂයක අල්ලසක් ගත් ලංගමයේ දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂයක අල්ලසක් ගත් ලංගමයේ දෙදෙනෙක් අත්අඩංගුවට

April 23, 2025   03:08 pm

රුපියල් 100,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් ලංකා ගමනාගමන මණ්ඩලයේ, නැගෙනහිර පළාත් ප්‍රාදේශීය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විනය නිලධාරියෙකුව සහ ආරක්ෂක නිලධාරියෙකුව අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

කන්තලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ත්‍රිකුණාමලය - වව්නියාව මාර්ගයේ ධාවනය වූ ත්‍රිකුණාමලය ඩිපෝවට අයත්, ලංගම බස් රථයේ මගීන්ගේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂකවරුන් විසින් පරීක්ෂා කළ අවස්ථාවකදී  මගියෙකුට ප්‍රවේශ පත්‍රයක් ලබා නොතිබීම සම්බන්ධව එම බස් රථයේ කොන්දොස්තර වශයෙන් සේවය කළ පැමිණිලිකරුට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වා වැඩ තහනම් කර තිබේ.

නමුත් එම විනය පරීක්ෂණයෙන් පැමිණිලිකරුට අගතියක් නොවන පරිදි පරීක්ෂණ කටයුතු අවසන් කර, නැවත සේවය පිහිටුවීමට අදාළ කටයුතු කර දීම සඳහා අල්ලස් ලෙස රුපියල් 100,000 මුදලක් ජ්‍යෙෂ්ඨ විනය නිලධාරියා විසින් ඉල්ලා ඇත.

පසුව එම කාර්යාලයේ ආරක්ෂක නිලධාරියා ලවා එකී මුදල සැකකරු විසින් ඉල්ලා ලබාගෙන තිබේ.

ඒ අනුව, අල්ලස් චෝදනා මත ලංගම ගමනාගමන මණ්ඩලයේ නැගෙනහිර පළාත් ප්‍රාදේශීය කාර්යාලයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ විනය නිලධාරියෙකු (ආවරණ) සහ ආරක්ෂක නිලධාරියෙකුව ඊයේ (22) පස්වරුවේ ලංකා ගමනාගමන මණ්ඩලයේ, නැගෙනහිර පළාත් ප්‍රාදේශීය කාර්යාලය තුළ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් කල්මුණේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.