සිරි දළදා වන්දනා කාලය පැයකින් දීර්ඝ කෙරේ
April 21, 2025 11:41 am
සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලසීමාව පැයකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව නව සංශෝධිත කාල වේලාව වන්නේ පෙරවරු 11 සිට සවස 5.30 දක්වාය.
දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන සැදැහැවතුන්ගේ සංඛ්‍යාව වැඩිවී තිබීම හේතුවෙන් සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලවේලාව සංශෝධනය කිරීමට තීරණය කළ බව ශ්‍රී දළදා මාළිගාව නිවේදනය කරයි.
මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩවන් අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට උදාකරන සිරි දළදා වන්දනාවේ සිව්වැනි දිනය අදයි.
ඊයේ (20) දිනයේ දළදා වහන්සේ වැඳපුදාගැනීමට නොහැකි වූ සැදැහැවතුන් විශාල පිරිසක් අද දිනයේ වන්දනාමාන කරගැනීමේ අරමුණින් මේ වනවිටත් දිගු පෝලිම්වල සැදීපැහැදී සිටී.
සිරි දළදා වන්දනාවේ තෙවැනි දිනය වන ඊයේ එක්ලක්ෂ පනස් දහසක පමණ සැදැහැවතුන් පිරිසකට ශ්‍රී දළදා වහන්සේ වන්දනා කරගැනීමට වරම් හිමිවුණි.
ඊයේ පස්වරු 5.30ට සිරි දළදා වන්දනාව අවසන් කිරීමෙන් පසු මහනුවර මහා නගර සභාවේ සේවකයින් නගරය පිරිසිදු කිරීමට පියවර ගනු ලැබීය.
දළදා වහන්සේ වන්දනා කිරීමට ඊයේ දින වරම් නොලද පිරිස්, අද දිනයේ දළදා වහන්සේ වැඳපුදා ගැනීමේ අරමුණින් ප්‍රවේශ මාර්ග 3හි රැය පහන් කළේය.
මෙවන් පසුබිමක ඊයේ දිනයේ දළදා වහන්සේ වැඳපුදා ගත් සැදැහැවතුන් සිය ගම්බිම් කරා යාමට පොදු ප්‍රවාහන සේවා සපයන මධ්‍යස්ථාන වෙත පැමිණ සිටියහ.
ඇතැමුන් සිය ප්‍රදේශවලට ධාවනය වන දුම්රිය පැමිණෙන තෙක් මහනුවර දුම්රිය ස්ථානයේ රැඳී සිටින ආකාරයද දක්නට ලැබුණි.
මේ අතර සැදැහැවතුන් වෙනුවෙන් ශ්‍රී දළදා මාළිගාව සංවිධාන කරන දන්සල ඊයේ රාත්‍රියේදීත් පැවැත්වුණේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙනි.
රාත්‍රී 7.30ත්, අලුයම් කාලය දක්වා පැවැති දන්සලෙන් 35,000කට පමණ රාත්‍රී ආහාර සැපයීමට පියවර ගැනුණි.
මෙම දන්සල වෙත පැමිණීමට නොහැකි පිරිස් වෙත යුද හමුදා සාමාජිකයින් ආහාර ලබාදීමට පියවර ගනු ලැබීය.
එමෙන්ම මෙරට රැඳී සිටින වියට්නාම ජාතිකයින් පිරිසක්ද සැදැහැවතුන් වෙනුවෙන් දන්සලක් සංවිධාන කර තිබුණි.
අදත් ස්වෙච්ඡා සංවිධාන ඇතුළු පාර්ශ්ව රැසක් පෝලිම්වල රැඳී සිටින සැදැහැවතුන් වෙනුවෙන් විවිධ දන්සල් සංවිධාන කර තිබුණි.
මේ අතර පසුගිය දිනවල දහවල් 12.00ට ඇරඹි සිරි දළදා වන්දනාව අද සිට උදෑසන11.00ට ආරම්භ කරන බව ශ්‍රී දළදා මාලිගාව නිවේදනය කළේය.