පුංචි ඡන්දය ගැන සාකච්ඡාවට කොමිසම අද රැසවෙයි

පුංචි ඡන්දය ගැන සාකච්ඡාවට කොමිසම අද රැසවෙයි

April 21, 2025   09:45 am

පළාත් පාලන ඡන්ද විමසීමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (21) රැස්වන බව එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි.

"අද දෙරණ" කළ විමසිමකදී ඔහු සඳහන් කළේ අද පෙරවරු 10න් පසු කොමිසම රැස්වන බවය.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත්වන සියලුම දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල ලේකම්වරුන් ද අද මැතිවරණ කොමිසමට කැඳවා තිබේ.

පළාත් පාලන ඡන්ද විමසිමේ කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ට පවතින ගැටලු හා ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ඔවුන් දැනුම්වත් කිරීම සඳහා මෙලෙස කැඳවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේය.

අදාළ පළාත් පාලන ආයතනයේ බලයලත් නියෝජිතයින් පත්කරගන්නා ආකාරය, ඡන්දය නිරීක්ෂණය කරනු ලබන ආකාරය පිළිබඳව ද මෙහිදි දැනුම්වත් කරනු ඇති බව සඳහන්ය.

මේ අතර මැතිවරණ නිරීක්ෂණ සංවිධානද අද දිනයේ මැතිවරණ කොමිසමට කැඳවා තිබේ.

ඔවුන්ගේ නිරීක්ෂණ කටයුතු සහ ඉදිරියෙදි කටයුතු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන අතර මතුව ඇති ගැටලු පිළිබඳව ද මෙහිදි සාකච්ඡා කරනු ඇත.

මේ අතර පළාත් පාලන ආයතන 112කට අයත් තැපල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද තැපෑලට භාරදෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අදාළ දිස්ත්‍රීක් තේරීම් භාර නිලධාරින් විසින් එම කටයුතු සිදුකරන බව එම කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේය.