බෞද්ධ සිද්ධස්ථාන ඉදිවීමෙන් පරිසරය ආරක්ෂා වෙනවා - දිලිත්

බෞද්ධ සිද්ධස්ථාන ඉදිවීමෙන් පරිසරය ආරක්ෂා වෙනවා - දිලිත්

April 20, 2025   07:36 pm

ඕනෑම රමණීය පරිසරයක බෞද්ධ සිද්ධස්ථානයක් ඉදිවීම තුළින් එම පරිසරය ආරක්ෂාවීමක් මිස විනාශවීමක් සිදුනොවන බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  දිලිත් ජයවීර මහතා පවසයි. 

ඔහු මේ අදහස් පළකළේ, දඹුල්ලේ ඉදිකෙරෙන සිරි ගෞතම සුගත මුණි සෑයට මුල්ගල් තැබීමේ පුණ්‍යෝත්සවයට අද (20) සහභාගී වූ අවස්ථාවේදීය.

විහාරාධිපති පූජ්‍ය බෙරලපනාතර මේධංකර හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් මෙම පුණ්‍යෝත්සවය පැවැත්විය.

අඩි දෙසීයක උසකින් යුක්තව ඉදිකිරීමට සැලසුම් කර ඇති මෙම චෛත්‍යයේ ඉදිකිරීම වෙනුවෙන් බැතිබර මාධ්‍ය දායකත්වය දක්වන්නේ දෙරණ මාධ්‍ය ජාලයයි.

"නව මාධ්‍ය භාවිතා වුණා නිරාගමික සංකල්ප සමාජගත කරන්නට. සභ්‍යත්වය, ආගමික උරුමයවන මේ බුදු දහමට එරෙහිව, අපේ ස්වාමීන් වහන්සේට එරෙහිව, පන්සලට එරෙහිව, නව චෛත්‍ය නිර්මාණය පිළිබඳව නව සමාජ මාධ්‍ය තුළ  නිශේධනාත්මව කතාබහක් ඇති වුණා. ඒ යුගයේ තමයි අපි හිතුවේ තවත් චෛත්‍ය හදන්නට ඕනේ, තවත් පන්සල් හදන්නට ඕනේ, මෙයට මුණ දීමට තියෙන එකම ක්‍රමය තමයි මෙය වඩාත් තීව්‍ර කිරීම. ඒ නිසා මම පෞද්ගලිකව ලංකාව පුරා ස්වාමීන් වහන්සේලාගේ ආරාධනයෙන් චෛත්‍ය නිර්මාණයට උත්සුක වුණා. ඵෙතිහාසිකව චෛත්‍ය නිර්මාණය වුණේ රමණීය පරිසරයක තමයි.  ඒක කිසිම පරිසර විනාශයක් නෙමෙයි. පරිසරය රැකීමයි සිදු වුණේ. බුදුරජාණන් වහන්සේගේ දෙසුමේ තිබුණේ පරිසරය රැකෙන දර්ශනයක්. උන්වහන්සේ තමයි ඉදිරිපත් කළේ සම්බේ සත්තා භවන්තු සුකි තත්ත්වා කියන සියලු සත්ත්වයන් රැකෙන පරිසරය රැකෙන ඒ මහා දර්ශනය.  ගහකොළ සතා සිව්පාවා සුරැකෙන ඒ අවිහිංසාවාදයේ දර්ශනය තව තවත් පරිසර සුරැකුමට හේතු වෙනවා මිසක් කිසිම විනාශයකට හේතුවක් වෙන්නේ නෑ."