සිරි දළදා වන්දනාව තෙවන දිනට අවසන්
April 20, 2025 05:34 pm
ලෝකවාසී බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අතිපූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව සලසාදෙමින් සිදුකෙරෙන 'සිරි දළදා වන්දනාව' තෙවන දිනට අද (20) අවසන් කෙරිණි.
දළදා සමිදුන් උදෙසා විශේෂ ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව දහවල් 12 සිට පස්වරු 5.30 දක්වා දළදා සමිදුන් වැඳපුදා ගැනීම සඳහා සැදැහැවතුන්ට අවස්ථාව උදාවිය.
එළැඹෙන 27වනදා දක්වා සෑම දිනකම මධ්‍යාහ්න 12 සිට පස්වරු 5:30 දක්වා කාලයේ 'සිරි දළදා වන්දනාව' උදෙසා සැදැහැවතුන්ට අවස්ථාව උදාකර දී ඇත.
දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා සැදැහැවතුන් විශාල ප්‍රමාණයක් අද දිනයේදී ද මහනුවර නගරයට එක්රැස්ව සිටිහය.
දළදා මාලිගයට ඇතුල්වීමට හඳුන්වා දී ඇති ප්‍රවේශ මාර්ග තුන ඔස්සේ අද (20) දිනයේ 150,000ක සැදැහැවතුන් සංඛ්‍යාවක් දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා එක්ව තිබු බව වාර්තා වේ.