නිවස බලා ගිය STF කොස්තාපල්වරයා දිවියෙන් සමුගනි

නිවස බලා ගිය STF කොස්තාපල්වරයා දිවියෙන් සමුගනි

April 19, 2025   04:16 pm

නිට්ටඹුව, ආයෝජන කලාප මාර්ගයේ සිදු වු අනතුරකින් විශේෂ කාර්ය බලකා පොලිස් කොස්තාපල්වරයෙක් මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 32 ක් වූ නිට්ටඹුව, රුක්ගහවිල ප්‍රදේශයේ පදිංචිව සිටි නිලධාරියෙකි.

ඊයේ (18) රාත්‍රියේ මෙම කොස්තාපල්වර නිට්ටඹුව, ආයෝජන කලාප මාර්ගයේ යතුරුපැදියෙන් සිය නිවස දෙසට ගමන් කරමින් සිටියදී එහි හතරමං හන්දියේ මාර්ගයේ වම් පස අයිනේ තිබූ දුරකථන කණුවක ගැටී අනතුරට ලකව ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

නිට්ටඹුව, රණවිරුගම මාර්ගයේ පුද්ගලයෙකු යතුරුපැදියක් ද සමඟ වැටී සිටින බවට අද (19) උදෑසන ප්‍රදේශවාසීන් නිට්ටඹුව පොලීසියට දැනුම්වත් කර තිබේ.

ඒ අනුව, නිලධාරීන් කණ්ඩායමක් විසින් තුවාලකරු වතුපිටිවල රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී තුවාලකරු  මිය ගොස් ඇත.

නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.