සමුද්‍රීය ආරක්‍ෂාව වෙනුවෙන් හදිසි ඇමතුම් අංකයක්

සමුද්‍රීය ආරක්‍ෂාව වෙනුවෙන් හදිසි ඇමතුම් අංකයක්

April 12, 2025   02:47 pm

සමුද්‍රීය ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම සහ මුහුදු ආපදා තත්වයන්හිදී වහාම ප්‍රතිචාර දැක්වීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අංක '106' මේ සඳහා හඳුන්වා දී ඇත.

නිවේදනයක් නිකුත්කරමින් ආරක්ෂක අමාත්‍යාංශය පවසා සිටියේ, මෙම අංකය මගින් සෘජුවම වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු මෙහෙයුම් මධ්‍යස්ථානයට සම්බන්ධ වී ඕනෑම හදිසි අවස්ථාවකදී දැනුම්දීමේ හැකියාව තිබෙන බවයි.

හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීමේ කාලය අවම කිරීම සහ සමුද්‍රීය ආපදා තත්ත්වයන් සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම මෙම අංකය හඳුන්වාදීමේ ප්‍රධාන අරමුණක් වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වන අතර, එමගින් මෙරට මුහුදු තීරයේ ආරක්‍ෂාව සහ සමුද්‍රීය පරිසරය සුරක්‍ෂිත කිරීම සඳහා විශාල වගකීමක් ඉටු කරයි. 

මුහුදේ ජීවිත හා දේපොළ ආරක්‍ෂාකිරීම, තෙල් කාන්දු කළමනාකරණයේ පළමු ප්‍රතිචාරකයා ලෙස ප්‍රතිචාර දැක්වීම, මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම් මැඩලීම ඒ අතරින් ප්‍රධාන වේ.

එමෙන්ම සෝදිසිකිරීම සහ මුදවා ගැනීමේ මෙහෙයුම් ඇතුළු මුහුදේ දී සිදුවන නිතී විරෝධි කටයුතු සඳහා ද මෙම අයතනය සක්‍රියව දායක වේ.