ඇප ලැබුණු දේශබන්දු අධිකරණයෙන් පිටව ගිය අයුරු
April 10, 2025 08:30 pm
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි, වැඩ තහනමට ලක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා අද (10) නියෝග කළේය.
කෙසේ වෙතත් මෙම ඇප නියෝගයට නීතිපති වෙනුවෙන් සිය විරෝධය පළකළ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැවසුවේ ඊට එරෙහිව තමන් ප්රතිශෝධන අයැදුමක් ඉදිරිපත් කරන බවය.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව අද දිනයේදීත් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේ දැඩි ආරක්ෂාවක් යටතේය.
ඔහුගේ නීතිඥයන් සිදුකළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වූ නියෝගය මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා අද ප්‍රකාශයට පත්කළේය.
"මෙම නඩුවේ පළමු සැකකරු සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කිරීමට සැලකියයුතු කාලයක් තිබූ බව මේ අවස්ථාව වනවිට අධිකරණයේ මතයයි. එමෙන්ම මෙම නියෝගය ප්‍රකාශයට පත්කිරීමේදී සැකකරු බන්ධනාගාරගතව සිටි කාලයද සැලකිල්ලට ගන්නවා. ඔහු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන බන්ධනාගාරගතව නොසිටියදී වුවද කරන්න පුළුවන්. එබැවින් මෙම නඩුවේ සෙසු සැකකරුවන්ට අදාළ වන ඇප ලැබීමේ අයිතියම පළමු සැකකරු සතුයි. ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට නියෝග කරනවා."
කෙසේ වෙතත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊට දැඩි විරෝධය පළ කළේය.
"ස්වාමීනි, මට ඊට එකඟ වෙන්න බැහැ. මොහු වියරු වැටිලා ඉන්නේ. මොහු එළියට එනවා කිව්වාමත් සාක්ෂිකරුවන් බයවෙනවා. මොහු සමාජගත කිරීම මේ විමර්ශනයට අතිශයින් අගතිදායකයි. මම අද කිව්වා කියලා ලියලා තියාගන්න. මොහු අනාගතයේදී මේ විමර්ශනයම විනාශ කරනවා. මෙම නියෝගයට එරෙහිව ප්රතිශෝධනක් කරා යාමට මා බලාපොරොත්තු වෙනවා."
මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා තවත් හෙළිදරව්වක් කරමින්,
"ස්වාමිනි, මේ ප්‍රහාරයට කලින් මේ පළමු සැකකරු කොළඹ විශේෂ කාර්යංශය නම් ඒකකයක් ලවා ඉලක්කය වූ W15 හෝටලයේ ඡායාරූප ගෙන්වාගෙන තිබෙනවා. ප්‍රහාරය සිදුකළ පසු දේශබන්දු තෙන්නකෝන් නැමැත්තා අදාළ ඒකකයේ අධ්යක්ෂ වූ නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසාට කතා කරලා කියලා තියෙනවා 'මුං පිස්සුවක් කරලා. ගිහින් බලපං මුං බීලාද හිටියේ කියලා." මෙම සාක්ෂිකරු සිදුවීමට අදාළව පැය 10 1/2ක දීර්ඝ සාක්ෂියක්දී තිබෙනවා. ඔහු කියා තිබෙනවා තමන්ට මේ පළමු සැකකරුගෙන් තර්ජන තිබෙනවා. එබැවින් ජීවිත ආරක්ෂාවක් දෙන්න කියලා. ස්වාමිනී, පළමු වතාවටයි මගේ වෘත්තීය ජීවිතයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අධිකරණයෙන් ජීවිත ආරක්ෂාවක් ඉල්ලීමක් ගැන අසන්න ලැබෙන්නේ. මගේ මතය ඔහු නඩු විභාගය අවසන් වනතුරුම රක්ෂිත බන්ධනාගාරගතව සිටිය යුතුයි."
කෙසේ වෙතත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ කරුණු දැක්වීමට දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වීය.
"ස්වාමිනි, ඔය කියන නියෝජ්‍ය පොලිස්පතිවරයා තර්ජන තිබ්බා නම් ඇයි විමර්ශන නිලධාරින් සොයාගෙන යනකල් හිටියේ. ඔහුට තිබ්බා අධිකරණය ඉදිරියට ඇවිල්ලා කරුණු කියන්න. මම මගේ සේවාදායකයාට උපදෙස් දෙන්නම් පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට අගතිදායක දේවල් කරන්න එපා කියලා."
එසේම ඇප ලබා පිටව යන දේශබන්දු තෙන්නකෝන් මහතාට සිය මෝටර් රථය අධිකරණ පරිශ්‍රයට ගැනීමට අවසර ලබාදෙන ලෙසත්, අධිකරණ පරිශ්‍රයෙන් පිටව යනතුරු විශේෂ ආරක්ෂාවක් ලබාදෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා දැඩි ලෙස විරෝධය පළ කළේය.
"මම විරුද්ධයි. ඔය හදන්නේ පොලිස් Squad එක්ක වෙනත් චිත්‍රයක් මවාගෙන ගාම්භීරව අධිකරණයෙන් එළියට යන්න. අපරාධකරුවෝ කොහොමද එහෙම යන්නේ. දවස් 20ක් හැංගිලා ඉද්දි, තාප්ප උඩින් පැන පැන යද්දි, කවුරුත් නොදැන අධිකරණයට එද්දි ඔය ආරක්ෂාව ඉල්ලුවේ නැහැනේ. ආපු විදිහටම යන්න කියන්න."
කරුණු සලකාබැලූ මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා සැකකරු වෙනුවෙන් නීතිඥයින් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
අනතුරුව නීති කෘත්‍යය යළි මැයි 22 වනද කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළේය.
නීති කෘත්‍යය අවසානයේ ඇප ලැබු දේශබන්දු තෙන්නකෝන් මහතා සිය මෝටර් රථය අධිකරණ භූමියට ඇතුළු කරගෙන එහි නැගී පිටව යන අයුරු අද දෙරණ කැමරාවේ සටහන් විය.