දුරගමන් සේවා බස් රථවලට පහසුකම් සපයන ආපනශාලා නියාමනය කරන්නැයි ඉල්ලීමක්

දුරගමන් සේවා බස් රථවලට පහසුකම් සපයන ආපනශාලා නියාමනය කරන්නැයි ඉල්ලීමක්

April 7, 2025   08:01 am

දුරගමන් සේවා මගී ප්‍රවාහන බස් රථ සඳහා ආහාර පහසුකම් සපයන ආපනශාලාවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් සොයාබැලීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ යුතු බව බස් සංගම් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ ආපන ශාලාවන් හි ආහාර අපිරිසිදු වීම සහ වැසිකිළි කැසිකිළි පහසුකම් ගුණාත්මක භාවයෙන් තොරව පවත්වාගෙන යන බවට පැමිණිලි ලැබී ඇති බවය.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේ, ආහාර පාන ප්‍රශ්නය සහ සෞඛ්‍ය ප්‍රශ්නය වසර ගණනාවක් පුරා මෙය පවතින බවය.

මේ අතර,  දුරගමන් සේවා මගී ප්‍රවාහන බස් රථ සඳහා ආහාර පහසුකම් සපයන ආපනශාලාවල වැඩිමිලට ආහාර සපයන බවට ලද පැමිණිලි හේතුවෙන් එවැනි ස්ථාන වැටලිමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

එහි පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා 'අද දෙරණ'ට සඳහන් කළේ අදාළ ආපනශාලාවන් හි ආහාර පාන සහ භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම සහ වැඩිමිලට අලෙවි කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි වාර්තා වන බවය.

උත්සව සමයේ සිදුකරනු ලබන වැටලීම්වලට සමගාමීව එවැනි ආපන ශාලාවන් පරික්ෂා කර ඔවුනට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.