කෝප් කමිටුව හමුවේ නිරුත්තර වූ නිලධාරීන්

කෝප් කමිටුව හමුවේ නිරුත්තර වූ නිලධාරීන්

April 1, 2025   06:29 pm

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අයත් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය නොකොට රුපියල්  බිලියන 2ක පමණ මුදලක් වැය කරමින්, කුලියට වෙනත් ගොඩනැගිල්ලක තවදුරත් රැඳී සිටීම සම්බන්ධයෙන් කෝප් කාරක සභාව අධිකාරියේ නිලධාරීන්ට සිය අප්‍රසාදය පල කර තිබේ.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 5 වනදා සහ  27 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ තිබුණි.

එම අවස්ථාවේදී සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ නිලධාරීන් හට සෘජු පිළිතුරු ලබා දීමට නොහැකි වීම සම්බන්ධයෙන් කාරක සභා සභාපතිවරයා මෙලෙස සිය අප්‍රසාදය පළ කළ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

අධිකාරියට යාබදව ඉදිකිරීම් ආරම්භ කළ සාප්පු සංකීර්ණ හේතුවෙන් අධිකාරියට අයත් ගොඩනැගිල්ල රැඳී සිටීමට නුසුදුසු තත්ත්වයකට පත් ව ඇති අතර ඒ අනුව සිදුව ඇති හානියට වන්දි ලෙස මාසිකව රුපියල් මිලියන 3ක කුලී පදනමක් සහිතව වෙනත් ගොඩනැගිල්ලක් එම සමාගම විසින් අධිකාරියට ගෙවීමට යෝජනා කර ඇත.

නමුත් එය ප්‍රතික්ෂේප කරමින් 2021 වසරේ සිට රුපියල් බිලියන 2ක පමණ කුලී මුදලක් වැය කරමින් වෙනත් ගොඩනැගිල්ලක අධිකාරියේ කටයුතු පවත්වා යනු ලබන බවට මෙහිදී අනාවරණය වී තිබේ. 

තවද මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය (CECB) මගින් රුපියල් මිලියන 21ක් වැනි මුදලකින් අධිකාරියට අයත් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කළ හැකි බවට තක්සේරු කොට තිබියදී එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියද මග හරිමින්, අදාළ සමාගම විසින් යෝජනා කළ මාසික වන්දි මුදල ද ලබා නොගනිමින්, රු. බිලියන 2ක පමණ මුදල් ප්‍රමාණයක් වැය කර ඇති බව කෝප් කාරක සභාව හමුවේ හෙළි වී ඇත.

මේ අතර, නිවැරදි ක්‍රියාවලියෙන් පරිබාහිරව,  විධිමත් අනුමැතියකින් තොරව හෙරනියාවක මැණික් ගැරීම් සිදු කිරීමට ඉඩ හැරීම පිළිබඳව කෝප් කාරක සභාව නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරනු ලැබීය. 

එහිදී, ප්‍රශ්නගත සමාගමට අදාළව අධිකාරිය විසින් ගිවිසුම් දීර්ඝ කිරීම් සිදුකළ අවස්ථාවන්හී නිරවද්‍යභාවය පිළිබඳව කාරක සභාව ප්‍රශ්න කරනු ලැබූ අතර මේ සම්බන්ධයෙන් කාරක සභාව දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම් හමුවේ නිලධාරීන් හට සෘජු පිළිතුරු ලබා දීමට නොහැකි වීම සම්බන්ධයෙන් කාරක සභා සභාපතිවරයා සිය අප්‍රසාදය පළ කර ඇත.

 තව ද, මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට  යොමු කිරීමට කාරක සභා ලේකම්වරිය හට කෝප් කාරක සභාව  නිර්දේශ කළ අතර, අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමට අමාත්‍යංශ ලේකම් හට නිර්දේශ කර තිබේ.

තවද, අඩු තක්සේරුවක් යටතේ අපනයනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන්, අධිකරණය මගින් රාජ සන්තක වූ Elegant Gems ආයතනයට අයත් කෝටි 25ක මැණික් මල්ලක්, එම ආයතනයටම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි මාණ්ඩලික අනුමැතියකින් තොරව,  අවම දඩ මුදලකට යටත්ව මුදා හැරීම අධිකාරිය සතු වගකීම පහර හැරීමක් බව මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන බව කෝප් කාරක සභාව අවධාරණය කර ඇත.

ඒ අනුව, රු. 10,000 / = ක් වන අවම දඩ මුදලේ සිට රු. ලක්ෂ 333,000 /= දක්වා  දඩ මුදලකට යටත් කිරීමේ හැකියාව තිබියදී අවම දඩ මුදලට යටත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව කෝප් කාරක සභාව පැමිණ සිටි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබේ.

මෙහිදී කොන්දේසි කඩ කිරීමක් පමණක් සිදු කොට ඇති බවත්,  නිශ්චිත වරදක් නොමැති බවත් පෙන්වා දුන් නිලධාරීන් පවසා සිටියේ එම නිසා අවම දඩ මුදල වන රුපියල් 10,000 /= ට  යටත්ව මෙසේ නිදහස් කරනු ලැබූ බවයි.

අඩු තක්සේරුවක් යටතේ අපනයනය කිරීමට තැත් කිරීම හේතුවෙන් අධිකරණයක් විසින් රාජ සන්තක කිරීම නිශ්චිත වරදක් නොවන්නේ කෙසේද යන්න පිළිබඳව කරුණු විමසු කෝප් කාරක සභාව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් විසින් කෝප් කාරක සභාව නොමග යැවීමට තැත් කිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරන ලදී.

තව ද නියාමන කාර්යය වෙනුවෙන් ස්ථාපිත කර ඇති මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, සිය නියාමන කාර්යභාරය පැහැර හරිමින් ව්‍යාපාර කටයුතු කොට ඇති බව කෝප් කාරක සභාව පෙන්වා දී ඇත.

මෙම ආයතනයේ පසුගිය ක්‍රියා කලාපය පිළිබඳ පරීක්ෂාකර බැලීමේදී මේ බව පැහැදිලි වන බව කෝප් කාරක සභාව අවධාරණය කළ බව සඳහන් වේ.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ඇත්තේ අපනයන අංශයක් පමණක් බවත් ආනයනය සම්බන්ධයෙන් කටයුතු කිරීමට අංශයක් නොමැති බවත් කෝප් කාරක සභාවේ දී අනාවරණය විය.

ආනයන, අපනයන යන දෙඅංශයම නියාමනය කිරීමේ අරමුණින් ස්ථාපිතව ඇති මෙවන් ආයතනයක, ඉන් එක් මුඛ්‍ය අංශයක් මෙතෙක් කලක් පිහිටු වීමට කටයුතු නොකිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

ඒ අනුව, මැණික් අපනයන ප්‍රවර්ධනය කිරීම සහ මැණික් අපනයනකරුවන්ට පහසුකම් සැපයීම, එම අපනයන ආදායම නිසි පරිදි රටට ගෙන එන්නේද යන්න සොයා බැලීමට නියාමන ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් කෝප් කාරක සභාවේ අවධානය යොමුව ඇත.

2022, 2023 සහ 2024 වර්ෂ තුන තුළ කිලෝ 46,815.94ක මැණික් ආනනයනය කර තිබුන ද නැවත අපනයන වී ඇත්තේ කිලෝ 1,664.06 පමණක් බවත් මේ හේතුවෙන් ආනයනික මැණික් වටිනාකම මත අය වන බදු ගණනය කිරීමේ හා අපනයනික මැණික් ගල් වල වටිනාකම පිළිබඳ ගැටලු රැසක් මතුව තිබෙන බව කෝප් කාරක සභාව පෙන්වා දී තිබේ.

මේ සම්බන්ධයෙන් නිසි දත්ත ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් ඒ සම්බන්ධයෙන් කෝප් කමිටුවට වාර්තා කිරීමට කටයුතු කරන ලෙසටත් කාරක සභාව විසින් මෙහිදී නිර්දේශ කරන ලදී.

ලංකාවේ මැණික්  හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් මෙරටට  බලාපොරොත්තු  වූ පරිදි නිසි සේවාවක්  සිදු නොවන බව  අමාත්‍යාංශ ලේකම්වරිය පැවසීය. 

එමෙන්ම, මුදල් විශුද්ධිකරණය සඳහා මෙම  කර්මාන්තය යොදා ගන්නා බවත් , මෙය පුද්ගලානුබද්ධ  නොව සමස්ත  මැණික හා ස්වර්ණාභරණ  පද්ධතිය තුළ පවත්නා ගැටලුවක් බවත් අමාත්‍යංශ ලේකම්වරිය තවදුරත්  පැවසුවාය.

එවකට සිටි පාලක මණ්ඩල අධිකාරිය විසින්  ලක්ෂ 61ක මුදලක්  වියදම් කොට ලස් වේගාස් මැණික් ප්‍රදර්ශනයකට යාම පිළිබඳව කෝප් කාරක සභාව විසින් කරුණු විමසා සිටින ලදී.

මෙතරම් මුදලක් වැය  කොට මෙකී ප්‍රදර්ශනයට සහභාගී  වීමේ පරමාර්ථය කුමක්දැයි කාරක සභා සභාපතිවරයා එවකට සිටි සභාපතිවරයාගෙන් ප්‍රශ්න කළ අතර කාරක සභා සමාජික මන්ත්‍රීවරයන්   විසින් ඒ හරහා  මෙරටට යම් ප්‍රතිලාභයක් ලැබුනේද යන්න පිළිබඳව කරුණු විමසන ලදී. 

ලස් වේගාස් මැණික් ප්‍රදර්ශනයට සහභාගී වී ලබාගත් දැනුම සහ අත්දැකීම් ඔස්සේ ප්‍රථමවරට අන්තර්ජාතික  ප්‍රමිතීන්ට අනුව රත්නපුර  මැණික් ප්‍රදර්ශනයක් සාර්ථක ලෙස සංවිධානය කිරීමට හැකි වූ බවත්, එවන් විදේශ අත්දැකීම් ඔස්සේ මෙරට මැණික් ව්‍යාපාරය දියුණු කළ හැකි ක්‍රමවේද සැකසීම සිය අරමුණු  වූ බවත්  ඊට ප්‍රතිචාර දක්වමින් එවකට සිටි සභාපතිවරයා පැවසීය.

තවද, අධිකාරියේ කටයුතු නිසි පරිදි පවත්වා ගෙන යාම සඳහා ආයතනයේ පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් ද, රසායනාගාරයේ සේවය කරන රත්න විද්‍යාඥන් හට, රත්න විද්‍යාව පිළිබඳව ජාත්‍යන්තර සුදුසුකම් හා විදේශ රසායනාගාර පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් ද, අධිකාරියට අනුබද්ධිත රත්නපුර  කාර්යාලයේ සවිකර ඇති FTIR යන්ත්‍රයේ කොටසක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ද කෝප් කාරක සභාවේ අවධානය යොමු විය.