පළාලි ගුවන්තොටුපොළ සංවර්ධනයට රජයේ අවධානය

පළාලි ගුවන්තොටුපොළ සංවර්ධනයට රජයේ අවධානය

March 31, 2025   05:07 pm

පළාලි ගුවන්තොටුපොළට විශේෂ අවධානයක් යොමු කරමින් එහි සංවර්ධන කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන, මහමාර්ග, වරාය සහ  සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඊයේ (30) අමාත්‍යවරයා ඇතුළු පිරිසක් පළාලි අන්තර්ජාතික ගුවන්තොටුපොළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව පැවසීය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේදී මෙරට ගුවන් ගමන් පිළිබඳ නීති සංශෝධනය කරමින් දේශීය ගුවන්ගමන්වලට ගැළපෙන පරිදී සකස් කිරීමට බළාපොරොත්තු වන බවය.

එමෙන්ම පළාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම තුළින් යාපනය ජනතාවගේ ආර්ථිකය ඉහළ නැංවීමට හැකියාව ලැබෙන බවත් පැවසූ අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා ගුවන්තොටුපොළ සතුවම මුදල් ඇති බව සභාපතිවරයා දැනුවත් කළ බවත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"දැනටමත් අන්තර්ජාතික ගුවන්තොටුපොළක් වන පළාලි ගුවන්තොටුපොළ භාවිතා කිරීම සදහා දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ ඉල්ලුම වැඩි වී ඇති බවක් පෙනී යනවා. විශේෂයෙන් ම දැනට කටුනායක ගුවන්තොටුපොළට පැමිණෙන යාපනය ආශ්‍රිත සංචාරකයන්ට එතැන්සිට දේශීය ගුවන්වාර වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. 

ඒ සදහා ලංකාවේ ගුවන් ගමන් පිලිබඳ නීති සංශෝධන කරමින් දේශීය ගුවන් ගමන්වලට ගැළපෙන පරිදි සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා. පළාලි ගුවන්තොටුපොළ දියුණු කිරීම සදහා තව බොහෝ කාර්යයන් සිදුකළ යුතු අතර ඒ සඳහා ගුවන්තොටුපොළ අධිකාරියට සැලසුම් තියෙනවා. 

යුද්ධයකින් බැට කෑ යාපනය ආශ්‍රිත ජනතාවගේ ආර්ථිකය ගොඩනැංවීමට පළාලි ගුවන්තොටුපොළ සංවර්ධනය පිටිවහලක් වෙනවා. ගුවන්තොටුපොළ  සභාපතිතුමා කියන්නේ  මේ සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය මුදල් ගුවන්තොටුපොළ සතුව ම ඇති බව ඉතා ඉක්මනින් මෙම ගුවන්තොටුපොළ අන්තර්ජාතික වශයෙන් දියුණු කළ යුතුයි. ඒ සදහා කරුණු 2ක් සිදු කළ යුතුව තියෙනවා. එකක්, ගුවන් පථය දික් කළ යුතුයි. අනික ආරක්ෂිතව ගමන් කළ හැකි සුදුසු පර්යන්තයක් සකස්කළ යුතුයි. මෙම සංවර්ධන කටයුතු ශක්‍යතා අධ්‍යයනයක් ඇතුව නව ව්‍යපාරික සැලසුම් සමග ඉදිරියට ගමන් කළ යුතුයි. අපි මේකේ සංවර්ධන කටයුතු ඉතා ඉක්මනින් ආරම්භ කිරිමට බලපොරොත්තු වෙනවා".