දෙවිනුවර ද්විත්ව ඝාතනය පිටුපස බාලේ මල්ලි ?

දෙවිනුවර ද්විත්ව ඝාතනය පිටුපස බාලේ මල්ලි ?

March 22, 2025   01:30 pm

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිටදී ඊයේ (21) රාත්‍රියේ තරුණයන් දෙදෙනකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය විසින් කරුණු කිහිපයක් අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව පොලීසිය පවසන්නේ ඩුබායි හි සැඟව සිටින ෂෙහාන් සත්සර හෙවත් 'බාලේ මල්ලි' නම් අපරාධකරු විසින් මෙම ඝාතන මෙහෙයවා ඇති බවයි.

බාලේ මල්ලි නම් අපරාධකරු සමග ඝාතනයට ලක් වූ තරුණයන් දෙදෙනා ඇතිකර ගත් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතන සිදුකර ඇති බවට පොලීසිය සැකකරයි.

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේදී ඊයේ රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩිතැබීම සිදුවිය.

වෑන් රථයකින් පැමිණි පිරිසක් අදාළ ස්ථානයේදී මෙම තරුණයන් දෙදෙනා ගමන්කරමින් සිටි යතුරුපැදිය, තම රිය ගැටීමට සලස්වා මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

ටී-56 වර්ගයේ ගිනිඅවියකින් හා පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර වෙඩික්කරුවන් පලාගොස් තිබේ.

වෙඩිප්‍රහාරයෙන් අදාළ තරුණයන් දෙදෙනා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය.

වෙඩික්කරුවන් පැමිණි වෑන් රථය ඝාතනය වූ ස්ථානයට මීටර 800ක් පමණ දුරින් වූ අතුරු මාර්ගයක දමා ගිනිතබා තිබියදී පොලීසිය විසින් පසුව සොයාගනු ලැබීය.

එලෙස ඝාතනයට ලක්ව තිබුණේ දෙවිනුවර, කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පැවැති උපන්දින සාදයකට සහභාගි වී පැමිණෙමින් සිටි 29 හැවිරිදි පසිඳු තාරක හා යොමේෂ් නාදීශාන් නැමැති දෙවිනුවර ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක්ය.

වෙඩි ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ තිබී ටී-56 උණ්ඩ කොපු 39ක් හා මිලිමීටර 9 වර්ගයේ උණ්ඩ කොපු 2ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය මාතර අතිරේක මහෙස්ත්‍රාත්  මාලන් ශිරාන් ජයසුරිය මහතා අද (22) අළුයම සිදු කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.