අයවැයට කථානායකගේ සහතිකය

අයවැයට කථානායකගේ සහතිකය

March 21, 2025   09:53 pm

පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2025 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සඳහා කථානායකවරයා අද (21) සිය සහතිකය සටහන් කළේය.

ඒ අනුව මෙම විසර්ජන පනත් කෙටුම්පත 2025 අංක 03 දරණ විසර්ජන පනත ලෙස බලාත්මක වන බව පාර්ලිමේන්තු කටයුතු මහලේකම් කාර්යාලය පවසයි.

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් අයවැය කථාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහාත විසින් පසුගිය පෙබරවාරි මස 17 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

අනතුරුව පෙබරවාරි 18 වැනිදා සිට 25 වැනිදා දක්වා දින 7ක් විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැති අතර පෙබරවාරි 25 වැනි දින විසර්ජනය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 109කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

අනතුරුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි 27 වැනි දින සිට අද (21) දිනය දක්වා දින 19ක් පැවැත්වුණි.

අද දිනයේදී විර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම පස්වරු 7.40ට ආරම්භ කෙරුණු අතර එහිදී පක්ෂව ඡන්ද 159ක් ද විපක්ෂව ඡන්ද 45ක් ද හිමිවිය.

ඒ අනුව 2025 විසර්ජන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 114කින් පාර්ලිමේන්තුවේදී අද සම්මත විය.