විකෘති කලල ඉවත්කිරීම ගැන පාර්ලිමේන්තුවේ කථා බහක්

විකෘති කලල ඉවත්කිරීම ගැන පාර්ලිමේන්තුවේ කථා බහක්

March 21, 2025   05:15 pm

විශේෂඥ වෛද්‍යවරුන් විසින් සනාථකළ ඉතා බරපතළ විකෘතිභාවයන්ට ලක්ව තිබෙන කලලයන් නීත්‍යනුකූලව ඉවත්කිරීමට නීති සම්පාදනය කිරීම පිළිබඳ අද (21) පාර්ලිමේන්තුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

මෙහිදී සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටියේ, වෛද්‍ය නිර්දේශ මත ගර්භණීභාවය අවසන් කිරීමේ නීති කඩිනමින් සම්පාදනය කර ක්‍රියාවට නැංවීමට කටයුතු කරන ලෙසයි.

ඔහු පෙන්වා දුන්නේ ඉතා බරපතළ විකෘතිභාවයන්ට පත්ව තිබෙන කලල ඉවත්කිරීමට දීර්ඝකාලයක සිට සාකච්ඡා කළත් එය ක්‍රියාවට නැංවීමට නොහැකි වූ බවයි.

"ලෝකයේ හොඳ ශිෂ්ටාචාර තිබෙන රටවල මේ සම්බන්ධව පියවර අරගෙන තිබෙනවා. 

ශක්තිමත් ආණ්ඩුවක් තියෙනවා. නිර්භීතව පක්ෂ විපක්ෂ භේදයක් නැතුව ලෝකය පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව මේ නීති සම්මත කරමු.

මේක ගැන තවදුරටත් හතරවටෙන් විමසන්න එපා. 

තමන්ට මේ ප්‍රශ්න අදාළ නොවන හුදු තමන්ගේ මතවාදයන් තුළ පමණන් ඉන්න පුද්ගලයන් හෝ කණ්ඩායම්වල මතයන් ගැන හිතන්න එපා" යනුවෙන් පැවසීය.

මෙහිදී ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දුන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා,

"මේක වටේ යනවා හෝ නොකර ඉන්නවා නෙමෙයි. තව අවුරුදු හතර හමාරක් අපේ රජයට තියෙනවා. නමුත් මේ වැඩේ කරන්න අවුරුදු හතර හමාරක් යන්නේ නෑ" යනුවෙන් පැවසීය.