සුඛෝපභෝගී මෝටර් රථයක් දුම්රියේ ගැටෙයි

සුඛෝපභෝගී මෝටර් රථයක් දුම්රියේ ගැටෙයි

March 20, 2025   08:33 am

කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල සිට කොළඹ දෙසට ධාවනය වීමෙන් තිබූ දුම්රියක පාදුක්ක ලියන්වල, තුත්තිරිපිටිය ප්‍රදේශයේ දී සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරට ලක් වූ සුඛෝපභෝගී මෝටර් රථය දුම්රිය හරස් මාර්ගයෙන් ඇතුළු කිරීමට යාමේදී මෙලෙස දුම්රියෙහි ගැටී ඇති බවත් අදාළ අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය හරස් මාර්ග ගේට්ටුවේ රාජකාරි කළ පුද්ගලයා එම ස්ථානයේ නොසිටි බැවින් එම ගේට්ටුව වසා නොතිබූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද මීගොඩ පොලීසිය පැවසීය.

අනතුරින් මෝටර් රථයෙහි ගමන් ගත් රියදුරු තුවාල ලබා පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුට සුළු තුවාල සිදුව ඇති බවත් තත්ත්වය බරපතළ නොවන බවත් පොලීසිය සඳහන් කළේය.

අනතුර සිදුවූ දුම්රිය කැලණිවැලි දුම්රිය මාර්ගයේ උදෑසන කාලයේ ධාවනය වන අවසන් දුම්රිය බවත් අනතුර සිදුවීමෙන් පසු දුම්රියෙහි එන්ජිම යළි ක්‍රියාකාරිත්වයට පත් නොවීම නිසාවෙන් එම දුම්රිය ධාවනය අත්හිටවූ බවත් පාදුක්ක දුම්රිය ස්ථානයේ නිලධාරියකු පැවසීය.