මුඛ පිළිකා දිනකට මෙරට තිදෙනෙකුට දිවි අහිමි කරයි
March 20, 2025 08:03 am
මුඛ පිළිකා රෝගය හේතුවෙන් දිනකට මෙරට පුද්ගලයින් තිදෙනෙකු මියයන බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ වසරකට 3,000කට ආසන්න සංඛ්‍යාවක් මෙරටින් නව මුඛ පිළිකා රෝගීන් වාර්තා වන බවය.
අදට (20) යෙදෙන ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මුහුණ, මුඛ, හනු පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද රත්නායක මහතා මෙම අදහස් පළ කළේය.
එමෙන්ම වෛද්‍ය ආනන්ද රත්නායක මහතා වැඩිදුරටත් පවසා සිටියේ, පුවක් පිළිකා කාරකයක් බවට මේ වනවිට සාධනීයව ඔප්පු කර ඇති බවය.
"දැනට ලංකාවේ පිරිමින් අතර, බහුතම පිළිකා විශේෂය තමා මුඛ පිළිකා. සාමාන්‍යයෙන් අවුරුද්දකට 3,000කට ආසන්න ප්‍රමාණයක්. අලුත් මුඛ පිළිකා රෝගීන් ලංකාවේ හඳුනාගන්නවා. ශෝචනීය තත්ත්වය තමා මුඛ පිළිකා නිසා අඩුම ගානේ සාමාන්‍ය වශයෙන් දවසකට අපේ රටේ තුන්දෙනෙක් මියයනවා. අපිට තියෙන වැදගත්ම දේ තමා මේ මුඛ පිළිකා කියන තත්ත්වය අපිට පහසුවෙන්ම පාලනය කරගන්න පුළුවන්. එක හේතුවක් තමා අපි හඳුනාගෙන තියෙනවා මුඛ පිළිකාවලින් අති විශාල ප්‍රමාණයක් හඳුනාගත් සාධක නිසා ඇති වෙන්නේ. එකක් තමා දුම්කොළ සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන. හපන්න ගන්න දුම්කොළ විදියට. පුවක් පිළිකා කාරකයක් බවට සාධනීයව ඔප්පු කරලා තියෙනවා."