මියගිය අඹුසැමි යුවළගේ සිරුරු දින කිහිපයකට පසු සොයාගනී

මියගිය අඹුසැමි යුවළගේ සිරුරු දින කිහිපයකට පසු සොයාගනී

March 17, 2025   02:51 pm

බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ නිවසක් තුළ දින කිහිපයකට පෙර මියගොස් ඇතැයි සැකකෙරෙන අඹුසැමි යුවළකගේ සිරුරක් බලවන්තලාව පොලීසිය විසින් සොයාගෙන තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, සින්නයියා විජේකුමාර් නැමති 39 හැවිරිදි පුද්ගලයෙක් සහ පෙරුමාල් ගෞරි නැමති 37 හැවිරිදි අඹුසැමි යුවළකි.

පසුගිය 14 වනදා සිට තම සහෝදරයා සහ ඔහුගේ බිරිඳ දැකීමට නොසිටි බවත්, ඒ අනුව නිවස විවෘත කර බැලීමේ දී ඔවුන් ඇද මත මියගොස් සිටි බවත් විජේකුමාර්ගේ සොහොයුරා පොලීසියට පවසා ඇත.

මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බගවන්තලාව පොලීසියේ නිලධාරින් සහ හැටන් පොලිස් කොට්ඨාශයේ ස්ථාන පරීක්ෂක නිලධාරින් විසින් නිවස තුළ දී වස බොතල් තුනක් සොයාගෙන ඇති අතර, එම වස පානය කර ඔවුන් සියදිවි හානි කර බවට පොලීසිය සැක කරයි.

මියගිය කාන්තාව මීට ප්‍රථම විවාහ වී සිට ඇති කාන්තාවක් බවත්, මරණකාරිණියට අවුරුදු 14ක දියණියක් සිටින අතර, ඇය මියගිය කාන්තාවගේ සොහොයුරිය භාරයේ සිටින බව පොලීසිය පැවසීය.

වස පානය කර මියයාමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර, මියගිය අඹුසැමි යුවළගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබේ.

මරණය සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇත.