කොස්තාපල්ට පහරදුන් වෙලේ සුදාගේ සොහොයුරා අත්අඩංගුවට

කොස්තාපල්ට පහරදුන් වෙලේ සුදාගේ සොහොයුරා අත්අඩංගුවට

March 17, 2025   02:32 pm

මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිස් කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුනිමල් කුමාර නොහොත් "තාජු" නැමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද (17) රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ පළාගොස් සිටියදීය.

ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගතව සිටින සමන්ත කුමාර හෙවත් "වෙලේ සුදාගේ" සහෝදරයෙක් බවටද හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි.

ගල්කිස්ස පොලීසියට අනුයුක්ත බඩෝවිට පොලිස් මුරපොළේ නිලධාරින් පිරිසක් ඊයේ (16) පස්වරුවේ බඩෝවිට අදියර තුන ප්‍රදේශයේ විශේෂ මත්ද්‍රව්‍ය වැටලීමක් දියත් කර තිබුණි.

පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට වැටලීම අතරතුර ලද තොරතුරකට අනුව පොලිස් ස්ථානාධිපතිවරයා සැකකරු අත්අඩංගුවට ගැනීමට ගොස් තිබුණේ කොස්තාපල්වරයෙක් ද සමඟයි.

එහිදී ප්‍රදේශයේ මාර්ගයක් අසළ රැඳී සිටි සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ මත්ද්‍රව්‍ය තිබී ඇති අතර ඒ අනුව පොලීසිය ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගෙන තිබුණි.

අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් සැකකරු පොලීසිය සමග පොරබදා ඇති අතර, එහිදී ඔහු කොස්තාපල්වරයාට තියුණු ආයුධයකින් තුවාල සිදුකර පළාගොස් තිබුණි.

පිහි ඇනුමෙන් උරහිසට හා උදරයට සිදුවූ තුවාල හේතුවෙන් කොස්තාපල්වරයා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.