සංගීත ප්‍රසංගය පොරපිටියක් කළ පිරිසෙන් 6ක් අත්අඩංගුවට

සංගීත ප්‍රසංගය පොරපිටියක් කළ පිරිසෙන් 6ක් අත්අඩංගුවට

March 16, 2025   04:19 pm

මැදිරිගිරිය, දිවුලන්කඩවල ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ මැදිරිගිරියේ පදිංචි හය දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවය.

පෙරේදා (14) රාත්‍රියේ දිවුලන්කඩවල ජනාධිපති විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර මෙම කළහකාරී තත්ත්වය හටගෙන තිබුණි.

සංගීත සංදර්ශනය සඳහා සහභාගී වන බවට ප්‍රකාශ වී තිබු ගායකයින් දෙපළක් ඒ සඳහා සහභාගී නොවීම හේතුවෙන් මෙම කළහකාරී තත්ත්වය හට ගෙන ඇති බව වාර්තා වේ.

ගායක ගායිකාවන් පිරිසකගේ සහභාගීත්වයෙන් එම සංගීත සංදර්ශනය පැවැත්වෙන බවට සංවිධායකයින් විසින් ප්‍රචාරක කටයුතු සිදුකර තිබී ඇති අතර ඒ සඳහා රුපියල් 1,000 සහ 2,500 ලෙස ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමට ද පියවර ගෙන තිබිණි.

කෙසේ වෙතත් සංගීත සංදර්ශනය ආරම්භ වී එව අවසන් වන තුරුම ඊට සහභාගීවීමට නියමිතව සිටි ගායකයින් දෙපළක් පැමිණ නොමැති බව සඳහන් වේ.

පසුව සංදර්ශනය අවසන් කරන බවට අලුයම 1.30ට පමණ නිවේදකයා දැනුම් දී ඇති නමුක් අදාළ ගායකයින් දෙපළක් නොපැමිනීමත් සමඟ ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු පිරිස් ප්‍රසංගයේ පුටු ඇතුළු දේපළ මෙන්ම සංගීත කණ්ඩායමේ සංගීත භාණ්ඩවලට ද පහරදී අලාභහානි සිදුකර ඇත.

එම ස්ථානයේ ආරක්ෂාව සඳහා පොලිස් නිළධාරීන් 45 දෙනෙකු පමණ යොදවා තිබුණ ද ඇතිවූ තත්ත්වය පාලනය කිරීමට ඔවුන්ට ද නොහැකි වී ඇති බව වාර්තා විය.

ප්‍රසංගයේ සංවිධායකයින් විසින් පෙරොන්දු වූ මුදල ලබා නොදීම හේතුවෙන් අදාළ ගායකයින් දෙපළ ප්‍රසංගය සඳහා සහභාගී වී නොමැති බවට සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී අනාවරණ වූ බව මැදිරිගිරිය පොලීසිය සඳහන් කළේය.