ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාවට ලංකාවෙන් තිදෙනෙක්

ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාවට ලංකාවෙන් තිදෙනෙක්

March 12, 2025   09:54 pm

චීනයේ පැවැත්වෙන ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාව සඳහා ශ්‍රී ලංකාවෙන් තිදෙනෙකු සුදුසුකම් ලබා තිබෙන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අද (12) පස්වරුවේ නිවේදනය කළේය.

මෙම තරගාවලිය මේ මස 21වනදා සිට 23වනදා දක්වා චීනයේ නැන්ජින් නුවරදී පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව මේ සඳහා, 

1 යුධ හමුදා ක්‍රීඩක චමෝද් යෝධසිංහ (මීටර් 60) 

2 යුද හමුදාවේම කාලිංග කුමාරගේ (මීටර් 400)  

3 ශ්‍රී ලක් මලල ක්‍රීඩා සමාජයේ කවීශ බණ්ඩාර (මීටර් 60 කඩුලු) 

යන ක්‍රීඩකයන් ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇත.

ලෝක ශ්‍රේණිගත ක්‍රමවේදය අනුව මෙම ක්‍රීඩකයන්ට මෙම අවස්ථාව හිමිව තිබේ.

එහිදී චමෝද් සහ කවීශ මෙම අවස්ථාව හිමිකරගෙන ඇත්තේ පසුගිය මස අගදී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවති පළමු වන ජාතික කෙටිධාවන පථ ශූරතාවයේ දී දක්වන ලද දස්කම් මත බව මලල ක්‍රීඩා සංගමය පවසයි.

වසර 24කට පසු ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාවක් සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගි වන වැඩිම ක්‍රීඩක සංඛ්‍යාව මෙයවීම විශේෂත්වයක්ය.

අවසන්වරට 2001 වසරේ පෘතුගාලයේ ලිස්බන්හි පැවති 9වන ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාව සඳහා ශ්‍රී ලංකාවෙන් 4 දෙනෙකු සහභාගි වූහ.

එය මෙම තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාවෙන් වැඩිම පිරිසක් සහභාගි වූ වසරයි.

එවර එම අවස්ථාව උදාකරගෙන ඇත්තේ සුසන්තිකා ජයසිංහ, සුගත් තිලකරත්න, දමයන්ති දර්ශා සහ රොහාන් ප්‍රදීප් කුමාර යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය.