දේශබන්දු හොයන්න සාගලගේ කාර්යාලයත් CID පරීක්ෂාවට

දේශබන්දු හොයන්න සාගලගේ කාර්යාලයත් CID පරීක්ෂාවට

March 12, 2025   12:24 pm

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතාගේ මාතර, මොරවක පිහිටි කාර්යාලය පරීක්ෂා කර තිබේ.

ඒ දේශබන්දු තෙන්නකෝන් මහතාව දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (11) විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇති පසුබිමකය.

මේ අතර, තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම අද (12) විභාගයට ගැනීමට නියමිතය.

දේශබන්දු තෙන්නකෝන් මහතා සිය නීතිඥයින් මාර්ගයෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ, මෙම අත්අඩංගුවට ගැනීම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතාගේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ බලපෑම් මත සිදුවන බවය.

එබැවින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස එම ඉල්ලා ගොනුකර තිබු එම රීට් පෙත්සම අද වැඩිදුර විභාගයට ගැනීමට නියමිතය.

එවන් පසුබිමක ඔහුව සොයා පොලිස් පරික්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වේ.